මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එහි වැදගත් එක් පාර්ශවයක් වශයෙන් කාන්තාවන් හදුනාගත හැකි වේ. එබැවින් ඔවුන්ට හිමිව තිබෙන අයිතිවාසිකම් පිළිබඳව ද සාකච්ඡා කිරීම මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජන සමාජයක කුඩාම හා මූලික සමාජ ඒකකය වන්නේ පවුලයි පවුල් ඒකකය තුළ බිරිඳක්, මවක්, දියණියක හෝ මිත්තනියක වශයෙන් කාන්තාව ඉටු කරන්නේ මිල කල නොහැකි තරම් කාර්යභාරයකි. දරුවන් බිහි කිරීම, ඔවුන් හදාවඩා ගැනීම, ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම, ආහාර හා පෝෂණ අවශ්‍යතා ඉටු කිරීම, අධ්‍යාපනය ලබාදීම ආදිය තුලින් පවුලක සුභසිද්ධිය හා සමාජයේ යහපැවැත්ම සදහා කාන්තාව විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තම පවුලේ කටයුතු වලට මෙන්ම රටක ජාතික ආර්ථිකයට ද කාන්තාව ලබාදෙන ශ්‍රම දායකත්වය අගයකොට සැලකිය යුතුය එමෙන්ම සමාජයේ විවිධ භූමිකාවන්ට අයත් වගකීම් උසුලමින් ඉතා වැදගත් සමාජ මෙහෙවරක් ඇය විසින් ඉටු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ජන ගහනයෙන් 50%ක් පමණ ඉක්මවන්නේ කාන්තාවන් ය. එමෙන්ම රටේ ශ්‍රම දායකත්වයෙන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් ය. එම නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වල තුන්වන පරිච්ඡේදය තුළින් කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳව විස්තරාත්මකව දක්වා තිබේ. වර්තමානය වන විට සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුවන හිංසන වර්ග 03ක් හදුනාගත හැකිය. එනම්,
1. කායික හිංසා
2. මානසික හිංසා
3. ලිංගික හිංසා
මෙම හිංසාවන් බොහෝවිට සිදුවන අවස්ථා ද පහත දක්වා ඇති ආකාරයෙන් හදුනාගත හැකි වේ.
• පවුල තුලින් සිදුවන හිංසා
• සමාජය තුලින් සිදුවන හිංසා
• රජය මගින් සිදුවන හිංසා
කාන්තාවන් නිරන්තරයෙන්ම මෙවැනි හිංසාවන්ට ලක්වන හෙයින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ගෙන ඇති නීති රීති හා සම්මුතීන් කිහිපයක් පවතී. ඒවානම්,
• 1978 ස්ථාපිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තිය.
• වධහිංසා වලින් හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලින් නිදහස් වීමට ඇති අයිතිය ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් තහවුරු කර ඇත.
• 17වන වගන්තිය 3වන පරිච්ඡේදයේ විධි විධාන අනුව පුද්ගලයෙකුට හිමි මූලික අයිතිවාසිකම් විධායක හෝ පාලක ක්‍රියාමාර්ග මගින් කඩ වූ හෝ කඩ වීමට ආසන්න වන අවස්ථාවන්හිදී 126වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමේ අයිතිය.
• 1993 මාර්තු මස 03වන දින සම්මත කරන ලද කාන්තා ප්රඥප්තිය
• 1996 අංක 49 දරණ කාන්තාවන් හා බාලවයස්කරුවන් සේවයේ යෙදවීම් පිළිබඳ පණත.
• මාතෘ ප්රතිලාභ ආඥාපනත මගින් මාතෘත්වයට පත්වන කාන්තාවන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම.
• කාර්යාල හා කඩ සාප්පු ආඥාපනත සාප්පුවක හෝ කාර්යාලයක සේවය සදහා යොදවන කාන්තාවන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම.
• විවාහ පනත මගින් ද කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු සිදු කොට ඇත.
• 2005 අගෝස්තු මස 09 වන දින සම්මත වූ 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනත.
• අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය
• රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
එසේම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා පිහිටුවා ගෙන ඇති ආයතනයන්ද හදුනාගත හැකිය. තම අයිතිවාසිකම් කඩ වීමකදී මෙම ආයතන හරහා ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමට කාන්තාවන් වන අපට අවස්ථාව ලබා දී තිබේ. ඒ ආයතන ලෙස,
• 2005 වසර තුල දී පිහිටුවන ලද ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය
• ශ්‍රී ලංකා කාන්තා කටයුතු කාර්යාංශය.
• 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක පනත හරහා පිහිටවූ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය.
• ජාතික කාන්තා කමිටුව
• ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
• පොලිස් ස්ථානයන්හි පවතින ළමා හා කාන්තා කාර්යාංශය.
• ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කරන මනෝ උපදේශන සේවා නිලධාරීන්
• කම්කරු කාර්යාල.
කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම තුල ඇයගේ පූර්ණ ඵලදායිතාව රටට අහිමි වේ. කාන්තාවන්ට ඇතිවන පීඩාවන් බොහෝවිට තම පවුල් ඒකකය හා ළමයින් කෙරෙහිද සෘණාත්මකව බලපානු ලබයි. මෙකී අයිතිවාසිකම් ආරක්ෂා නොවීම තුල එය රටක ආර්ථික හා සමාජ සංවර්ධනයට මෙන්ම රටක සමස්ථ දියුණුවටම විශාල බලපෑමක් ඇති කරයි. මනුෂ්‍යයන් වශයෙන් සියලු දෙනාටම හිමි විය යුතු මානව අයිතිවාසිකම් පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද එක සේ හිමිවිය යුතු වේ. එබැවින් කාන්තා අයිතිවාසිකම් ද මානව අයිතිවාසිකම් ගණයට අයත් වන බැවින් කාන්තා අයිතිවාසිකම් කඩවීම තුල මානව අයිතිවාසිකම් ද කඩවේ. එබැවින් රටක් තුල කාන්තා අයිතිවාසිකම් ද සුරක්ෂිත කිරීම ඉතාමත් වැදගත් බව හදුනාගත හැකි වේ.
කාන්තා අයිතිවාසිකම් හදුනාගනිමු.
ශ්‍රී ලංකාව තුල කාන්තා අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සදහා 1993 මාර්තු මස 03වන දින කාන්තා ප්රඥප්තිය සම්මත කරන ලදී. රජය විසින් කාන්තාවන්ගේ පූර්ණ සංවර්ධනයෙහි අභිවර්ධනය සහතික කරනු පිණිස ව්‍යවස්ථා සම්පාදනය කිරීම ඇතුළු විශේෂයෙන් දේශපාලන, සමාජීය, ආර්ථික හා සංස්කෘතික යන සියලු ක්ෂේත්‍ර වලට එනම් කාන්තාවන්ට පුරුෂ පක්ෂය හ සමාන පදනමක් මත මානව අයිතිවාසිකම් හා මූලික්ද් නිදහස ක්‍රියාත්මක කිරීම භුක්ති විදීම සහතික කරලීමේ කාර්යය සදහා උචිත සියලු පියවර ගත යුතු බව සදහන් වේ. මෙහිදී මෙම ප්රඥප්තිය තුළ පුළුල් ක්ෂේත්‍ර 07ක් පිළිබඳව අවදානයට ලක් කරමින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දක්වා ඇත. එනම්,
1. දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්.
2. පවුල් ඒකකය තුළ අයිතිවාසිකම්.
3. අධ්‍යාපනයට හා පුහුණු වීමට ඇති අයිතිය.
4. ආර්ථික කටයුතුවලට හා එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය.
5. සෞඛ්‍යාරක්ෂාවට සහ පෝෂණයට ඇති අයිතිය.
6. සමාජීය වෙනස්කම් වලින් ආරක්ෂාව ලැබීමේ අයිතිය.
7. ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාව ලැබීමේ අයිතිය.
මෙලෙස මෙම කාන්තා ප්රඥප්තිය තුළ කොටස් 07ක් යටතේ කාන්තා අයිතිවාසිකම් බෙදා දක්වා ඇති නමුත් මා විසින් එය මෙසේ ප්‍රධාන කොටස් 03ක් යටතේ ගොනු කොට දක්වා ඇත. එනම් ඒවා පහත පරිදි වේ.
1. සමාජ අයිතිවාසිකම්
2. දේශපාලන අයිතිවාසිකම්
3. ආර්ථික අයිතිවාසිකම්
සමාජ අයිතිවාසිකම් යටතේ,
සමාජ අයිතිවාසිකම් යන විෂය පථය ලෙහෙසියෙන් සීමා කල නොහැක. ඒ අනුව සමාජ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය, තෘප්තිමත්භාවය ශ කාන්තාවන් විසින් මෙම අයිතිවාසිකම් සැබා ලෙස භුක්ති විදීම මෙහිදී අවධාරණය කරයි. විවාහය, පවුල් ජීවිතය ගබ්සාව සහ අධ්‍යාපනය යන ප්‍රධාන උප ඒකක 04ක් යටතේ මෙම සමාජ අයිතිවාසිකම් විශ්ලේෂණය කරනු ලබයි. විවාහය නැමැති උඅප ඒකකය තුළ ඉදිරිපත් කරන ලද අයිතිවාසිකම් වලට සහකරු තෝරා ගැනීමේ අයිතිය, දික්කසාද වීමේ අයිතිය, නැවත විවාහ වීමේ අයිතිය, මිශ්‍ර විවාහයකදී පිරිමියාට මෙන්ම කාන්තාවට ද තම කැමැත්ත පරිදි තීරණ ගැනීමෙ අයිතිය ආදිය ඇතුලත් වේ. පවුල් ජීවිතය නැමැති උප ඒකකය තුළින් ඉදිරිපත් කරන්නේ සහකරු හෝ සහකාරිය සමග ඇති සබදතා අනුව පවුල් ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ තෘප්තිමත් වීමට ඇති අයිතියයි. එනම් දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේදී දෙදෙනාටම සම අවස්ථා හිමිවීම, දේපල අයිතිය අත්පත් කර ගැනීමේදී සාධාරණ තීරණ ගැනීම, පවුල් නාමය හා ලියාපදිංචිය තෝරා ගැනීමේදී ඇති අයිතිය, දරුවන් සංඛ්‍යාව හා දරු උපත් පරතරය පිළිබඳව නිදහස් තීරණ ගැනීමේ අයිතිය යනාදියයි. ගබ්සාව තුළින් උපත් පාලනය කිරීමට සහ පවුල් සැලසුම් කිරීමට ඇති අයිතිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබයි. එසේම අවසාන වශයෙන් අධ්‍යාපනය නැමැති උප ඒකකය තුළ අවුරුදු 10ක අනිවාර්ය අධ්‍යාපනය, සමාන අධයාපන අවස්ථාවලට පිවිසීමට ඇති අයිතිය, අධ්‍යාපනයෙහි ක්‍රියාශීලීව සහභාගි වීමට සම අඅවස්ථා ලබා දීම, දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය තෝරා ගැනීමේදී පියාට මෙන්ම මවටද සම අවස්ථා ලැබීම, ආබාධිත පුද්ගලයන්ට අධ්‍යාපන කටයුතුවල නියැලීමේ සම අවස්ථා ලබා දීම. ප්රතිලාභ ලබා ගැනීමේදී සම අවස්ථා සැලසීම යනාදී වූ අයිතිවාසිකම් මෙම සමාජ අයිතිවාසිකම් ගණය යටතේ හදුන්වා දියහැකි වේ.
දේශපාලන අයිතිවාසිකම් ලෙස,
දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මුල් කාලීනව වැඩි වශයෙන් කතා බහට ලක් නොවන ඒකකයක් වශයෙන් හදුනාගත හැකි නමුත් මෑතකාලීනව මෙය කතාබට ලක් වූ මාතෘකාවක් වශයෙන් හදුනාගත හැකි වේ. එසේම කාන්තාවන් වැඩි උනන්දුවක් නොදක්වන ඒකකයක් ලෙසටද හදුනාගත හැකිය. නමුදු කාන්තාවන්ට හිමි අනෙකුත් අයිතිවාසිකම් හා සමානවම දේශපාලන අයිතිවාසිකම් ද පවතී. එලෙස කාන්තාවන්ට හිමිවන අයිතිවාසිකම් පහත පරිදි හදුනාගත හැකි වේ.
• රටේ දේශපාලන හා පොදු ජීවිතයෙහි මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ වලද කාන්තාවන්ට එරෙහිව ඇති වෙනස්කම් තුරන් කිරීම සදහා රජය විසින් කාන්තාවන්ට පුරුෂ පක්ෂය හා සමානවම අයිතිවාසිකම් ලබා දිය යුතු බව.
• සියලුම ඡන්ද විමසීම් වලදී, ජනමත විචාරන වලදී ඡන්දය දීමට හා ජනතාව විසින් පත් කරන මණ්ඩල වලට තෝරා පත්වීමට සුදුස්සන් වීම.
• ජාතික, පළාත්, ප්‍රාදේශීය ඡන්ද විමසීම් වලදී නාමයෝජනා ලබාදීම සදහා සාධාරණ නියෝජයක් ලැබීම.
• රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී සහභාගි වීමට, රජයේ තනතුරු දැරීමට ඇති අයිතිය.
• වෘත්තීය සංගම්, දේශපාලන සංවිධාන හා සංගම්වල කාන්තා සහභාගිත්වය තහවුරු කල යුතු බව.
• ජාත්‍යන්තර මට්ටමේ දී තම රාජ්‍ය නියෝජනය කිරීමේ සහ ජාත්‍යන්තර සංවිධාන කාර්ය වල හා කටයුතු වල දී පුරුෂ පක්ෂය හා සමානවම වෙනස්කමකින් තොරව සහභාගි වීමේ අවස්ථාව.
• තම රටවැසිභාවය අත්කර ගැනීමට, වෙනස් කිරීමට හෝ පවත්වා ගැනීමට පුරුෂ පක්ෂය හා සමාන අයිතිවාසිකම් භුක්ති විදීමේ අයිතිය.
ආර්ථික අයිතිවාසිකම් වශයෙන්,
මුල් කාලීනව කාන්තාවන්ට ආර්ථික අයිතිවාසිකම් හිමි නොවුන අතර මෑත කාලීනව සමාජ නවීකරණයත් සමග මෙම අයිතිවාසිකම් ඉතා වැදගත් ඒකකයක් වශයෙන් හදුනාගත හැකි වේ. එහිදී මේ යටතේ ඇති කාන්තා අයිතිවාසිකම් පහත පරිදි හදුනාගත හැකි වේ.
• වැඩ කිරීමට හා මුදල් ඉපයීමට ඇති අයිතිය.
• පියාගේ දේපළ උරුම කරගැනීමේ අයිතිය.
• සැමියාගේ දේපළ බෙදා ගැනීමේ අයිතිය.
• නඩත්තු දීමනා ඉල්ලා සිටීමේ අයිතිය.
• තමන්ගේ උත්සාහයෙන් උපයාගත් මුදල් අයිතිකර ගැනීමේ අයිතිය.
• රක්ෂණ සහ වෙනත් මූලාශ්‍ර වලින් ලැබෙන මුදල් අයිති කර ගැනීමේ අයිතිය.

👍👍👍
ReplyDelete👍👍❤❤
ReplyDeleteIt is so valuable assignment done by yourself, congratulations
ReplyDelete❤👌👌
ReplyDelete🥰❤️
ReplyDelete🥰🥰
ReplyDelete😍❤️
ReplyDelete👍💗
ReplyDelete👍👍👍❤️❤️
ReplyDelete