My Blog List

Thursday, 29 February 2024

බලතල බෙදීමේ න්‍යාය

 


රාජ්‍යයේ බලය හෙවත් ස්වාධිපති බලය ක්‍රියාත්මක කරන උපකරණය වන්නේ ආණ්ඩුවයි. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණය යනුවෙන් ආණ්ඩුව සතු බලතල තුනක් වේ. ව්‍යවස්ථාදායකය යනු නීති සම්පාදනයයි. විධායකය යනු නීති විධානයයි. අධිකරණය යනු විනිශ්චයයි. ආණ්ඩුව සතු බලතල ක්‍රියාත්මක කරන ආයතන පද්ධතිය වන්නේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණයයි. ආණ්ඩුව සමන්විත වන්නේ එම ආයතන පද්ධතියෙන්‍ ය. බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් වී තිබෙන්නේ ආණ්ඩුවේ බලතල මූලික කරගෙනය. ආණ්ඩුවේ බලතල පිළිබඳව ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. ඉන්පසු කාලයේ දී රෝම චින්තකයෙකු වූ පොලිබියස් විසින්ද රෝම සමූහාණ්ඩුවේ බලතල විග්‍රහ කරනු ලැබීය. එහෙත් බලතල බෙදීමේ සිද්ධාන්තය නූතන න්‍යායක් වශයෙන් ඉදිරිපත් වූයේ නූතන රාජ්‍ය බිහිවූ මුල් අවධියේ ආඥාදායක පාලන ක්‍රමයට එරෙහිවය. 

නූතන රාජ්‍ය නිර්මාණය වූ මුල් අවධියේ දී යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රම ක්‍රියාත්මක විය. එම ඒකාධිපති රාජාණ්ඩුවල බලතල සංකේන්ද්‍රණය වී පැවතුනි. එනම් ආණ්ඩුවේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ ත්‍රිවිධ බලතල රාජාණ්ඩුව වටා සංකේන්ද්‍රණය වී පැවතිණේය. එහෙයින් රාජාණ්ඩුව ඒකාධිපති විය. ආණ්ඩුවේ මෙම ත්‍රිවිධ බලතල තනි පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමෙන් හෙවත් රජු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමෙන් ආඥාදායක පාලනයක් නිර්මාණය විය. එම ආඥාදායක පාලනයේ සෘජු ප්‍රතිඵලය වූයේ සමාජයේ මිනිස් නිදහස සහ අයිතිවාසිකම් අහෝසි වීමයි. 17වන ශතවර්ෂයේ අගභාගයේ පටන් යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩුවාදයට එරෙහිව නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතවාදය පැතිර ගිය අතර බලතල බෙදීම පිළිබඳ දේශපාලන සංකල්පය සහ එම සංකල්පය මුල්කරගත් බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් වූයේ ඒකාධිපති රාජාණ්ඩුවට එරෙහිව නූතන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අවශ්‍යතාවයෙනි. 

ආණ්ඩුවේ බලතල සහ ඒකාධිපති පාලනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතී. එනම් ආණ්ඩුවේ බලතල ඒකාග්‍ර වූ විට හෙවත් ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බලතල තනි පුද්ගලයෙකු වෙත සංකේන්ද්‍රගත වූ විට ඒකාධිපති පාලනයක් නිර්මාණය වේ. එහෙයින් ආණ්ඩුවේ බලතල පංගු කළවිට හෙවත් බෙදා වෙන්කළ විට ඒකාධිපති පාලනය අහෝසිවේ. මේ ආකාරයෙන් ආණ්ඩුවේ බලතල ඒකාධිපතිත්වය අතර නිශ්චිත සම්බන්ධයක් පවතී.සමාජයේ නිදහස තහවුරු කිරීම සඳහා ඒකාධිපති පාලනය අහෝසි කල යුතු බවත්, ඒකාධිපති පාලනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවේ බලතල බෙදිය යුතු බවත් නූතන යුගය ආරම්භක වකවානුවේදී ප්‍රථමවතාවට ප්‍රකාශ කලේ ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයෙකු වූ ජෝන් ලොක්‍ විසිනි. 1688 ඉංග්‍රීසි විප්ලවය කෙරෙහි බලපෑ දේශපාලන අදහස් ඉදිරිපත් කල පුරෝගාමී චින්තකයා වූයේ ජෝන් ලොක් ය. සමාජයේ මිනිස් නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා රජු සතුව පැවති විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බලතල බෙදා වෙන් කිරීම පිළිබඳ මතය සංකල්පයක් වශයෙන් ජෝන් ලොක් ඉදිරිපත් කළේය. එහෙත් ඔහු එම මතය න්‍යායක් වශයෙන් ඉදිරිපත් කලේ නැත. ආණ්ඩුවේ බලතල බෙදා වෙන් කිරීම න්‍යායාත්මක වශයෙන් ප්‍රථමවතාවට ඉදිරිපත් කරනු ප්‍රංශ පුනරුදයේ චින්තකයෙකු වූ මොන්ටෙස්ක්‍යු විසිනි. ඔහු 1748 දී පල කරන ලද "නීතියේ සාරය" (Spirit of Law) නැමැති ග්‍රන්ථය ඇසුරින් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන ලදී. නීතියේ සාරය නැමැති ග්‍රන්ථයේ 11 වන ඛාණ්ඩය මඟින් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය පිළිබඳව කරන ලද විග්‍රහය ඇසුරින් මොන්ටෙස්ක්‍යු බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් කර තිබේ.

සමාජයේ මිනිස් නිදහස අහෝසි වී පාලනයේ අකාර්යක්ෂමතාවය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය ආණ්ඩුවේ බලතල ඒකාග්‍ර වී තිබීම බව මොන්ටෙස්ක්‍යු විසින් පෙන්වා දෙනු ලැබීය. ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල බෙදා වෙන් කිරීමෙන් ඒකාධිපතිත්වය අහෝසි වී මිනිස් නිදහස ආරක්ෂා වන බවත් කාර්යක්ෂම පාලනයක් ඇති කළ හැකි බවත් මොහු දක්වන ලදී. 

සමාජයේ මිනිස් නිදහස හා ආණ්ඩුවේ බලතල අතර පවතින සම්බන්ධතාව පිළිබඳ ආදර්ශය වශයෙන් මොන්ටෙස්ක්‍යු හඳුනාගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයයි. ඒ අනුව 1735දී මොන්ටෙස්ක්‍යු බ්‍රිතාන්‍ය සංචාරයක යෙදුනේ යථෝක්ත තත්ත්වය පිළිබඳව ගවේෂණය කිරීම සඳහාය. මේ කාලය වෙන විට බ්‍රිතාන්‍යයේ කැබිනට් ක්‍රමය ආරම්භ වී පැවති අතර අගමැති ධුරය හෙබවූයේ සර් රොබට් වෝල්පෝල් (Robert Walpole)ය. මොහු බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරයා ය. බ්‍රිතාන්‍ය වෙත පැමිණි මොන්ටෙස්ක්‍යු එරට ආණ්ඩුවේ ස්වාභාවය පිලිබඳ අධ්‍යාපනය කරනු ලැබීය. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන ආයතන පද්ධතිය හෙවත් පිළිවෙළින් පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය හා ප්‍රිවී කවුන්සිලය ප්‍රමුඛ අනෙකුත් අධිකරණ ආයතන වෙන් වෙන්ව රැස් වූ හෙයින් මොන්ටෙස්ක්‍යු අවබෝධ කර ගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය බලතල බෙදූ ආණ්ඩුක්‍රමයක් ලෙසය. බ්‍රිතාන්‍යයේ මිනිස් නිදහස තහවුරු වී ඇත්තේ මෙම ආණ්ඩුක්‍රමයෙහි බලතල බෙදීම හේතුකොටගෙන බව මොන්ටෙස්ක්‍යුගේ අවබෝධය වූයේය. එහෙයින් ප්‍රංශ දේශපාලන සමාජයේ මිනිස් නිදහස තහවුරු වීමට නම් ආණ්ඩුවේ බලතල බෙදා වෙන් කළයුතු බව මොන්ටෙස්ක්‍යුගේ අදහස විය. 

දෙවනුව පාලනය කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහා ආණ්ඩුවේ බලතල බෙදා වෙන්කළ යුතුය යන මතය මොන්ටෙස්ක්‍යු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂ ප්‍රාගුණ්‍යය පිළිබඳ සංකල්පය ආදර්ශයට ගනිමින්‍ ය. විශේෂ ප්‍රාගුණ්‍යය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනවල කාර්යක්ෂමතාවයයි. එම කාර්යක්ෂමතාවය ඇති වන්නේ ශ්‍රම විභජනය තුළින්‍ ය. එහෙයින් ශ්‍රම විභජනය මඟින් විශේෂ ප්‍රාගුණ්‍යය ඇති වන්නා සේ ආණ්ඩුවේ බලතල බෙදීම තුළින් පාලනයේ කාර්යක්ෂමතාවය ඇතිවන බව මොන්ටෙස්ක්‍යුගේ මතය විය. 

මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කළ බලතල බෙදීමේ න්‍යාය මඟින් ආණ්ඩුවේ බලතල බෙදීම ව්‍යුහාත්මකව හා කාර්යාත්මකව සිදුකළ යුතු බව දක්වනු ලැබේ. ව්‍යුහාත්මක යනු ආයතනික ආකාරයෙන් බලතල බෙදීමය. කාර්යාත්මක යනු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ආයතනවල කාර්යයන් අනුව බලතල බෙදීමයි. 

ආණ්ඩුවේ බලතල ව්‍යුහාත්මකව බෙදීම යනු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය යනුවෙන් ආයතන තුනක් පිහිටුවා එම ආයතන එකිනෙකින් ස්වාධීන කිරීමය. එසේ එම ආයතන එකිනෙකින් ස්වාධීන වන්නේ එක් ආයතනයක සාමාජිකයින් අනෙක් ආයතනයක සාමාජිකයින් නොවන විටය. මේ අනුව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන ආයතනවල සාමාජිකයින් ආයතන මට්ටමින් අදාල ආයතනයට පමණක් සීමා වූ සාමාජිකයින් වීමෙන් ව්‍යුහාත්මකව එම ආයතන වෙන්වීම හා ස්වාධීන වීම සිදුවේ. 

දෙවනුව ආණ්ඩුවේ බලතල කාර්යාත්මකව බෙදීම යනු ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ යන ආයතන තුන වෙත එකිනෙකින් වෙන් වූ කාර්යන් පැවරීමය. මේ අනුව නීති සම්පාදන කාර්යය ව්‍යවස්ථාදායකය වෙතද, නීති ක්‍රියාත්මක කිරීමේ කාර්යය විධායක වෙතද, විනිශ්චය කිරීමේ කාර්යය අධිකරණය වෙතද වෙන් වෙන් වශයෙන් පැවරිය යුතුය. එහිදී එක් ආයතනයක කාර්යයක් අනෙක් ආයතනයට ක්‍රියාත්මක කළ නොහැකිය. 

ඉහත දැක්වූ ආකාරයෙන් මොන්ටෙස්ක්‍යු විසින් ආණ්ඩුවේ බලතල බෙදිය යුතු ආකාරය න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලදී. එම න්‍යාය ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ නූතන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පැවති වකවානුවේදීය. එමෙන්ම එය කාර්මික ශිෂ්ටාචාරයෙහි මුල් වකවානුවද විය. මේ කාලයේදි තාක්ෂණය දියුණු මට්ටමක නොපැවති හෙයින් රාජ්‍ය අභ්‍යන්තර කටයුතු මෙන්ම රාජ්‍යයේ බාහිර කටයුතුද සංකිර්ණ තත්ත්වයක පැවතුණේ නැත. එමෙන්ම මෙම කාලයේදී නූතන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පැවති බැවින් දේශපාලන පක්ෂ බිහිවී තිබුණේද නැත. එහෙයින් නූතන ප්‍රජාතන්ත්‍රවාදය පැතිරුණු මුල් කාලයේ සමාජයේ මිනිස් නිදහස තහවුරු කිරීම සඳහාත්, පාලනයේ කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහාත් ආණ්ඩුවේ බලතල බෙදීම නැමැති ක්‍රියාමාර්ගය භාවිතයට ගතහැකි විය. 1789දී ක්‍රියාත්මක වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පදනම වශයෙන් මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීමේ න්‍යාය උපයෝගී කරගනු ලැබූවේ එවකට එම න්‍යායෙහි පැවති වලංගුභාවය හේතුකොට ගෙනය.

Wednesday, 28 February 2024

සන්නිවේදන නිර්වචන

 


සන්නිවේදනය යනුවෙන් අදහස් කරනුයේ තොරතුරු හුවමාරුවයි. මෙම සන්නිවේදනය සඳහා මූලික අවබෝධයක් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති නිර්වචන අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත් වේ. එබැවින් සන්නිවේදනය යනු කුමක්ද යන්න හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබල එක උපක්‍රමයක් වශයෙන් මෙම නිර්වචන හඳුනාගත හැකි වේ. සන්නිවේදනය පිළිබඳ නිර්වචන විවිධාකාරයෙන් විවිධ විද්වතුන්, සංවිධාන විසින් ඉදිරිපත් කර ඇත. ඒවා එකිනෙකට වෙනස් වුවද ඒවායේ පොදු සාධකයන් එනම් සන්නිවේදකයා, සංදේශ, ග්‍රාහකයා, බලපෑම, මූලාශ්‍ර වැනි සාධක සමානාත්මතාවක් පෙන්නුම් කරයි. මෙසේ සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනාගත හැකිවේ. 


විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය 

වර්ෂ 1907 අගෝස්තු 05වන දින ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් සන්නිවේදනයේ පුරෝගාමී විද්වතෙකි. සන්නිවේදනයේ පියා වන්නේද මොහුය. 1954 වර්ෂයේ මොහු විසින් සන්නිවේදනය පිළිබඳ නිර්වචන ඉදිරිපත්කොට ඇත. සන්නිවේදනය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුව සන්නිවේදනය පිළිබඳ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හඳුනාගත හැකිය. 

"තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණකොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වාභාවයක් ඇතිවීම සන්නිවේදනයයි."


හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය 

වර්ෂ 1902 පෙබරවාරි 13වන දින උපත ලැබූ හැරල්ඩ් ඩී ලැස්වෙල් මහතා දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයෙකු ලෙස සිටිමින් සන්නිවේදනය විෂය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙවරක් කළ විද්වතෙකි. මොහු විසින් සන්නිවේදනය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇත. මොහු දේශපාලන විද්‍යාඥයෙකු වන බැවින් මොහු විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය ද දේශපාලනික ප්‍රවේශයක හුරුවක් ගනී. 

"යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින්, යම් කිසිවෙකුට, කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි."


ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර්ගේ නිර්වචනය 

ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් යන දෙදෙනාට ඇමරිකාවේ බෙල් ටෙලිෆෝන් රසායනාගාරයේ සේවය කළේය. ෂැනොන් විද්‍යාඥයෙකු වන අතර වීවර් සහයකයෙකි. දුරකතන හා ගුවන්විදුලි තාක්ෂණය පිළිබඳව මෙම දෙපළ වැඩි අවධානයක් යොමු කළහ. ඔවුන් දෙදෙනා නියැලුණු දුරකථන ක්ෂේත්‍රය පදනම් කරගෙන ඔවුන් විසින් තම නිර්වචනය 1954දී ඉදිපත් කර ඇත. 

"සන්නිවේදනය යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි."


චාල්ස් එච්. කූලිගේ නිර්වචනය 

චාල්ස් කූලි යනු සමාජ විද්‍යාඥයෙක් වන අතර ඔහු ප්‍රධාන ලෙස පුද්ගල සමාජානුයෝජනය පිළිබඳ පර්යේෂන කටයුතුවල නිරත වූවෙකි. මානව සබඳතා පවත්වා ගැනීම හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය සන්නිවේදනයබව පෙන්වා දී තිබේ.

"මානව සබඳතා රඳවා සිටින්නාවූත්, වර්ධනය කරන්නාවූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරීවන උපක්‍රම සන්නිවේදනයයි."


"සංස්කෘතිය සන්නිවේදනයයි. සන්නිවේදනය සංස්කෘතියයි."    - රේමන්ඩ් විලියම්ස් - 


"අදහස් ගෙනයන කලාව සන්නිවේදනයයි."                                                    -එඩ්වින් එමරි-


"පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ කෙනෙකුගෙන් කෙනෙකුට හෝ ස්ථානයකින් ස්ථානයකට තොරතුරු ගලායාම සන්නිවේදනයයි."  -කෝලියර්ගේ විශ්වකෝෂය-


"අදහස්, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුව්මාරු කරගැනීම සන්නිවේදනයයි."      -ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය- 

Wednesday, 7 February 2024

ශ්‍රී ලාංකේය සිනමාවේ ඓතිහාසික යුගය

 


අතීතය දෙස බලන විට පෙනී යන්නේ අවුරුදු 96ක් වයසැති ලක් සිනමා පුරාණය චලන චිත්‍රයක් මෙන් විචිත්‍ර බවයි. සිංහල සිනමාවේ ආරම්භය සේ සැලකෙනුයේ 1947 ජනවාරි 21 වන දා වුවත් ලාංකීය සිනමා කර්මාන්තයේ ආරම්භය හා ව්‍යාප්තිය ඊට වඩා බෙහෙවින් පැරණිය. සිනමාව නම් මාධ්‍ය බිහි වූයේද ව්‍යාප්ත වූයේද ව්‍යාපාරික පදනමක් මත විනා කලාවක ස්වරූපයෙන් නොවේ බොහෝවිට එහි පැවැත්ම ඇත්තේද එම ස්වරූපයෙන්මය. ලෝකයේ ප්‍රථම චිත්‍රපටය තිරගත වීමත්, මෙරට ප්‍රථම චිත්‍රපටය තිරගත වීමත් අතර කාලය පස් වසරකට වඩා ගත නොවේ. සිනමාව ලෝක ව්‍යාප්ත වීම කෙතරම් ශීඝ්‍රයෙන් සිදුවිණි ද යන්න එකල පැවති තත්ත්වය සලකා බැලීමේදී පැහැදිලි වේ. 

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම නිහඬ චිත්‍රපට පෙන්වන ලද්දේ සර් වෙස්ට් රිච්වේ ලංකාණ්ඩුකාරතුමාගේ කාලය වූ 1901 දී බව පෙනී යයි. ඒ අවධිය තුළ මෙරට චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කිරීමේ ගෞරවය හිමි වන්නේ A.W. ඇන්ඩෲ නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පියෙකුටය. ඔහු විසින් මෙරටට ගෙන්වන ලද එම නිහඬ චිත්‍රපට දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට වසර දෙකක් යන තෙක්ම අහිමි වී තිබුණි. මීට හේතු වූයේ එම චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද්දේ එදා එංගලන්තයත් අප්‍රිකාවේ බෝයර් ජාතීනුත් අතර ඇති වූ යුද්ධයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හසුව මෙරටට ගෙනවිත් දියතලා කඳවුරුවල රඳවා සිටි බෝයර් සිරකරුවන් විනෝද කිරීමට පමණක් සීමා වූ නිසාය. නමුත් සමහර පුවත් මඟින් ඉදිරිපත් කරනුයේ ආරාධිත බ්‍රිතාන්‍ය ජාතිකයන් සුළු පිරිසකටත්, ඉංග්‍රීසි උගත් ඉතා සීමිත ලාංකික පිරිසකටත් සිනමා ප්‍රදර්ශනයක් පැවැත් වූ බවයි. වාර්ථා චිත්‍රපට තුනක් ඇතුලත් මෙම ප්‍රදර්ශනය A.W. ඇන්ඩෲගේ මෙහෙයවීම යටතේ කොටුවේ චැතැම් වීදියේ පැගෝඩා හෝල් ගොඩනැගිල්ලේ උඩුමහලේ පවත්වා ඇති බව කියවේ. "දිනපතා ප්‍රවෘත්ති" නැමැති පුවත්පතේ සඳහන් වන පරිදි 1898 දී සිනමා දර්ශන පැවැත් වූ බවක්ද සොයාගත හැකිය. එහිදී යුනියන් පෙදෙස් පබ්ලික් හෝල් හි සිනමැටික් නැමැති යන්ත්‍රයකින් වාර්ථා චිත්‍රපට දෙකක් පෙන්වූ බව ඉන් පැවසේ. එනම් ග්‍රීක තුර්කි යුද්ධය හා ක්‍රිකට් ක්‍රීඩකයෝ නම් චිත්‍රපට ද්විත්වයයි. 

කෙසේ වුවද ඉන් අනතුරුව 1903 දී මෙරට සිනමා කර්මාන්තය ආරම්භ කිරීමේ ගෞරවය ලබා ගනුයේ ද ඇන්ඩෲ ය. ඒ කොරික් බයිස්කෝප් සමාගම පිහිටු වීමෙනි. එය මෙරට ප්‍රථම සිනමා සමාගම බවට පත් විය. එමගින් 1903 සිට 1910 දක්වා කොළඹ කොටුවේ පැගෝඩා ශාලාවේ වාර්ථා හා තොරතුරු චිත්‍රපට පෙන්වන ලදී. ප්‍රථමයෙන් බ්‍රිස්ටල් හෝටලයේ පළමුවන මහළේ ශාලාවක බයිස්කෝප් දර්ශන පෙන්වූ මොහු පසුව වත්මන් පැගෝඩා හෝටලය පිහිටි භූමි භාගයේ සිය ප්‍රථම සිනමාහල ඉදි කලේය. නමුත් 1910 ඇන්ඩෲ මිය යාමත් සමඟ කොරික් බයිස්කෝප් සමාගම වැසී ගියේය. 

C.වැන්ගර් මෙරටට පැමිණීමත් සමඟ මෙරට සිනමා ව්‍යාපාරයේ දෙවැනි පරපුර ආරම්භ විය. ඔහුගේ සිනමා ශාලාව පිහිටියේ කොළඹ ලෝටස් පාරේ චාමස් ධාන්‍යාගාර භූමියේය. වැන්ගර් මෙරට මුල්ම චිත්‍රපට බෙදාහරින්නාද වේ. මොහු බොහෝවිට චිත්‍රපට ලබා ගත්තේ ඉන්දියාව හරහාය. ඔහුගේ ඔලිම්පියා චිත්‍රපට සමාගම ප්‍රදර්ශනය ආරම්භ කලේ 1911 පෙබරවාරි මාසයේය. මොවුන් සියල්ලන්ටම පසුව ලංකාවට පැමිණි චිත්‍රපට ප්‍රදර්ශක වොරික් මේජර් විසින් 1911 අප්‍රේල් 8වනදා මල්වත්ත පාරේ සිනමා ප්‍රදර්ශනය සඳහාම වෙන් කෙරුණු මුල්ම ශාලාව ගොඩනැගීය. එය එම්පයර් පික්චර් පැලස් යනුවෙන් හැදින්වුණි. 

1924දී මෙරට සිනමා ව්‍යාපාරයේ කැපී පෙනුන ව්‍යාපාරිකයෙකු වූ T.A.J. නුරාබායි විසින්ද ඊස්ටන් සමාගම අරඹන ලද අතර වැල්ලවත්තේ ඔලිම්පියා සිනමාහල ද ආරම්භ කර ලදී. 1928දී සිලෝන් තියටර්ස් සමාගම ආරම්භ කිරීම සඳහාද මොහු විසින් දායකත්වය දක්වන ලදී. පසුව 1938දී මොහු මියගිය අතර 1913දී මෙරට ප්‍රථම වරට ස්ථීර සිනමාහල් ගොඩනැගිල්ලක් J.F. මදාන් නැමැති පුද්ගලයා විසින් විවෘත කරන ලදී. එනම් කොළඹ ඉබ්බන්වල පිහිටි පබ්ලික් හෝල් සිනමාහළයි. එනම් වත්මන් එම්පයර් සිනමාහලයි. මීට අමතරව පැලස් හා එම්පයර් යන නමින් තවත් සිනමාහල් ඔවුන් සතු විය. 

සෙනෙවිරත්න මෙරට චිත්‍රපට කර්මාන්තයට එක් වූ ප්‍රථම සිංහල ව්‍යාපාරිකයා විය. ඔහු චිත්‍රපට ලබා ගත්තේ මදාන් සමාගමෙනී. එහෙත් සිය ව්‍යාපාර දිගටම කරගෙන යෑමට ඔහුට නොහැකි විය. පසුව එවකට යාපනයේ ගුරුවරයෙකුව සිටි චින්තම්පලම් ඒබ්‍රහම් ගාඩ්නර් සිනමා ව්‍යාපාරයට එක් විය. ගාඩ්නර් චිත්‍රපට කලාව කෙරෙහි ඇලුම් කල අයෙකි. ඔහු A.L. තම්බයියා සමඟ හවුල් වී මේ ව්‍යාපාරයට එක් විය. අනතුරුව 1928 දී ගාඩ්නර්, T.A.J. නූර්බායිගේ දායකත්වය ඇතිව ඇල්ෆ්‍රඩ් තම්බයියා සහයක ලෙසද සවරිමුත්තු සාමාන්‍යාධිකාරී ලෙසද යොදාගෙන සීමා සහිත සිලෝන් තියටර්ස් සමාගම ආරම්භ කලේය

 මේ වන විට දිවයිනේ ප්‍රධාන නගර පුරා කූඩාරම් සිනමාහල් රැසක් තිබුණි. මේ අතරින් ඉම්පිරියල් ටෝකීස් ප්‍රධාන විය. 1929දී මදාන් සමාගම මැලඩ් ලව් නම් කතානාද චිත්‍රපටය ප්‍රථමවරට එම්පයර් සිනමාහලේ ප්‍රදර්ශනය කලේය. මෙරට කතානාද චිත්‍රපට යුගය ඇරඹුණේ මෙමඟිනි. චිත්‍රපට කතා කිරීම ඇරඹීමත් සමඟ භාෂා භේදය ඉස්මතුව ආයේය. මෙරට තිරගත කල ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය බිල්වා මංගල් වූයේය. මෙය මදාන් සමාගමේ නිෂ්පාදනයකි. ඉන් අනතුරුව ටවර් හෝල් සංගීතඥයෙකු වූ W.දොන් ඇඩ්වර්ඩ් නිපදවා අධ්‍යක්ෂණය කල රීල් තුනකින් යුත් පළිගැනීම නම් චිත්‍රපටය 1936 මැයි 19වනදා කොළඹ ගෙයිට් සිනමාහලේ තිරගත විය. එය මෙරට තිරගත වූ ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපට විය. නමුත් මේ සියලුදෙනාටම වඩා ප්‍රථම සිංහල චිත්‍රපටය පිළිබඳ සිහිනය සැබෑ කලේ ස්වාධීන නිෂ්පාදකවරයකු වූ S.M. නායගම් විසින්‍ ය.

Monday, 5 February 2024

නව යටත්විජිතවාදය


 දෙවන ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් පිරිහීමට පත්වත්ම ඔවුන්ට අහිමිව ගිය යටත් විජිතයන්හි සිය බලය තව දුරටත් රදවා ගැනීමේ විකල්පයක් ලෙස නව යටත් විජිතවාදය බිහි විය. තවත් ආකාරයකට කිවහොත් නව යටත්විජිතවාදය යනු යටත්විජිතවාදයේ නවීකරණය වූ ස්වරූපයයි. යටත්විජිතවාදය තුළ දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණය වූයේ අධිරාජ්‍යවාදී රටවල් විසින් අනෙකුත් යටත් රාජ්‍යයන් දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද යටත් කරගෙන පාලන කටයුතු පවත්වාගෙන යාමයි. අධිරාජ්‍යවාදී බලවතුන් යටත් විජිතයන්හි ආර්ථිකය වර්ධනය කර තිබුනේත්, ගොඩනගා තිබුනේත් අධිරාජ්‍යවාදී රටවල මව් ආර්ථිකය ගෙනයාමට උදව් කරගත හැකි ආර්ථිකයක් ලෙසිනි. මෙහි ප්‍රතිඵලය වූයේ දේශපාලන වශයෙන් එකී යටත් විජිත පසු කලෙක නිදහස ලැබූවත් ඒවාට ආර්ථික වශයෙන් ක්‍රියා කිරීමට නොහැකි වීමයි. එබැවින් නිදහස ලැබූවද මෙම රටවල දැඩි තාක්ෂණික හා ආර්ථික පසුගාමිත්වයක් පැවතුනි. නව යටත්විජිතවාදය තුළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්වාධීනත්වය ලබාගත් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රාජ්‍යයන් නිදහස් රාජ්‍යයන් ලෙස සංවිධානය වුවද ඒවායෙහි ආර්ථික කටයුත් බාහිර බලවේග විසින් මෙහෙයවීම නව යටත්විජිතවාදයේ විශේෂ ලක්ෂණයකි. 


යටත්විජිත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුරෝපා ප්‍රබල රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සිදුවිය. මෙම යටත්විජිතහරණ ක්‍රියාවලිය තුළ ඔවුන් පාලනය කළ ප්‍රදේශ ස්වදේශිකයන්ට බාර දුන්නද එතෙක් ඔවුන් අනුගමනය කළ මෙහෙයවීමේ හා පාලනය කිරීමේ තවදුරටත් ඉදිරියට ගෙනගිය බව දක්නට ලැබේ. මෙහිදී සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල බලවතුන් විවිධ උපක්‍රම හරහා තම ග්‍රහණයට නතුකර ගනිමින් නාමිකව නොවුනත් ක්‍රියාකාරී වශයෙන් යටත් වූ ස්වාභාවයකට පත්කර ගැනීමයි. මෙම ආර්ථික ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර වෙළෙඳ හා මූල්‍ය කටයුතු ආශ්‍රයෙන් ජාත්‍යන්තර ආර්ථිකය මෙහෙයවීම සිදුවිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ බලතුලනයේ වෙනස්වීමත් සමඟ ඇති වූ තත්ත්වය ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යටත්විජිත ක්‍රමය තුළ අධිරාජ්‍ය කණ්ඩායම් යටතේ පැවතුණු ප්‍රධාන බලවතුන් මිත්‍ර ජාතීන් ලෙස රාජ්‍යයන් ගොඩනගා ගත් අතර ලෝකයේ විවිධ ප්‍රදේශ සහ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලෝක බලපෑම් කිරීමට මොවුන් විසින් ගනු ලැබූ තීරණ නව යටත්විජිතවාදයේ සූක්ෂම ආරම්භයක් ලෙස විචාරකයෝ පෙන්වා දේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව පසුව ඇති වූ සංවිධානවල ප්‍රබලත්වය බලවත් රාජ්‍යයන් විසින් හිමිකර ගැනීමට සකස් කළ සැලසුම් නව යටත්විජිතවාදය ව්‍යාප්ත වීමට බොහෝ සෙයින් පදනම විය. 


සාමාන්‍ය අර්ථයෙන් විග්‍රහ කරන කළ නව යටත්විජිතවාදය යනු අධිරාජ්‍යයන් රහිත යටත්විජිතවාදයකි. නව යටත්විජිතවාදය මඟින් නාම මාත්‍රිකව නිදහස ලැබූ රාජ්‍යයන් මත සැලකිය යුතු තරමින් කෙරෙන විදේශීය යොමු වීමකි. නව යටත්විජිතවාදය තවත් ආකාරයකින් ප්‍රකාශ කළහොත් එය දේශපාලන හා යුධමය ආධිපත්‍යය වෙනුවට ආර්ථික ආධිපත්‍යයක් ඇති කිරීමයි. 


ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඉන්දීය විශේෂඥයෙකු වන එම්. ගුප්තා දක්වන ආකාරයට යටත්විජිතහරණය තුළින් සිදුවූයේ යටත්විජිත නීතිමය වශයෙන් නිදහස් වීමක් මිස සිද්ධිමය වශයෙන් වෙනස්වීමක් නොවේ. මේ නිසා මෙම සංකල්පය තුළින් පැහැදිලි වන්නේ නීත්‍යානුකූලව යටත්විජිත හා මව් රාජ්‍යයන් අතර සබදතා විනිර්මුක්ත වීමක් වුවත් සිද්ධිමය වශයෙන් ඒවා තවදුරටත් යටත්විජිත මව් රාජ්‍යයන්ගේ ග්‍රහණයේ පැවතීමයි. ඝානාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ක්වාමේ නික්රූමා (Kwame Nikrumah) නව යටත්විජිතවාදය සම්බන්ධයෙන් සඳහන් කරන ලද්දේ නව යටත්විජිතවාදයේ හරය වන්නේ න්‍යායාත්මකව රාජ්‍යයන්ට දේශපාලන නිදහසක් සහ ස්වාධීනත්වයක් හිමිකර දෙමින් අදාළ රාජ්‍යයන්හි ආර්ථිකය බාහිර බලවේග මඟින් මෙහියවීමට ඉඩ සැලැස්වීමයි. යටත්විජිතවාදයෙන් නිදහස් වූ රාජ්‍යයන් සම්බන්ධයෙන් සංවර්ධිත එනම් ඉහළ ආර්ථිකයක් ඇති රාජ්‍යයන් අනුගමනය කරන සූරාකෑමේ ප්‍රතිපත්තිය නව යටත්විජිතවාදයෙන් ප්‍රකාශයට පත් වේ. නිරුක්මා සඳන් කරන ආකාරයට මේ තුළින් මූලිකවම සිදුවන්නේ ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සිදුවන මුදල් ප්‍රවාහ සංවර්ධිත රටවලට අද්දවා ගැනීමේ ක්‍රමවේදයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතර සංවර්ධිත රටවල් මෙම අමුද්‍රව්‍ය මිලදීගෙන නිමි භාණ්ඩ නිෂ්පාදනය කොට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉහළ මිලකට අලෙවි කිරීම මඟින් ලාභ ලබා ගන්නා අතර එමඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් සහ ආර්ථික ප්‍රවාහය සංවර්ධිත රටවලට පහාඋවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ඉන්දියානු ලේඛිකාවක වන Rajini Plam Dath සඳහන් කරන ආකාරයට නව යටත්විජිතවාදය තුළ හඳුනාගත හැකි ප්‍රධානතම ක්‍රියාදාමය වන්නේ ලාභ අපේක්ෂා කරමින් අතීතයේ යටත්විජිත පිහිටුවාගෙන සිටි රාජ්‍යයන් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියයි. මෙසේ විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව විවිධ අදහස් හා අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති අතර නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වන මාධ්‍යයන් ගණනාවක් හඳුනාගත හැකිය. ඒවා නම්,

1. බහුජාතික සමාගම්

2. දේශපාලන මැදිහත්වීම්

3. යුධමය මැදිහත්වීම්

4. විදේශ ණය සහ ආධාර

5. ජාත්‍යන්තර සංවිධාන

6. ජාත්‍යන්තර වෙළදාම

7. විදේශ ශිෂ්‍යයත්ව ලබාදීම

යන ඒවා ප්‍රමුඛ වේ. නව යටත්විජිතවාදය විවිධ ස්වරූපයෙන් ලොවපුරා ක්‍රියාත්මක වන අතර යුධමය මැදිහත්වීම් ඒ තුළ හඳුනාගත හැකි දරුණුතම ස්වරූපය බව බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ.

කාන්තා අයිතිවාසිකම්

  මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එහි වැදගත් එක් පාර්ශවයක් වශයෙන් කාන්තාවන් හදුනාගත හැකි වේ. එබැවින් ඔවුන්ට හිමිව තිබෙන අයිතිවාස...