රාජ්‍යයේ බලය හෙවත් ස්වාධිපති බලය ක්‍රියාත්මක කරන උපකරණය වන්නේ ආණ්ඩුවයි. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණය යනුවෙන් ආණ්ඩුව සතු බලතල තුනක් වේ. ව්‍යවස්ථාදායකය යනු නීති සම්පාදනයයි. විධායකය යනු නීති විධානයයි. අධිකරණය යනු විනිශ්චයයි. ආණ්ඩුව සතු බලතල ක්‍රියාත්මක කරන ආයතන පද්ධතිය වන්නේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණයයි. ආණ්ඩුව සමන්විත වන්නේ එම ආයතන පද්ධතියෙන් ය. බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් වී තිබෙන්නේ ආණ්ඩුවේ බලතල මූලික කරගෙනය. ආණ්ඩුවේ බලතල පිළිබඳව ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. ඉන්පසු කාලයේ දී රෝම චින්තකයෙකු වූ පොලිබියස් විසින්ද රෝම සමූහාණ්ඩුවේ බලතල විග්‍රහ කරනු ලැබීය. එහෙත් බලතල බෙදීමේ සිද්ධාන්තය නූතන න්‍යායක් වශයෙන් ඉදිරිපත් වූයේ නූතන රාජ්‍ය බිහිවූ මුල් අවධියේ ආඥාදායක පාලන ක්‍රමයට එරෙහිවය.
නූතන රාජ්‍ය නිර්මාණය වූ මුල් අවධියේ දී යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රම ක්‍රියාත්මක විය. එම ඒකාධිපති රාජාණ්ඩුවල බලතල සංකේන්ද්‍රණය වී පැවතුනි. එනම් ආණ්ඩුවේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ ත්‍රිවිධ බලතල රාජාණ්ඩුව වටා සංකේන්ද්‍රණය වී පැවතිණේය. එහෙයින් රාජාණ්ඩුව ඒකාධිපති විය. ආණ්ඩුවේ මෙම ත්‍රිවිධ බලතල තනි පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමෙන් හෙවත් රජු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමෙන් ආඥාදායක පාලනයක් නිර්මාණය විය. එම ආඥාදායක පාලනයේ සෘජු ප්‍රතිඵලය වූයේ සමාජයේ මිනිස් නිදහස සහ අයිතිවාසිකම් අහෝසි වීමයි. 17වන ශතවර්ෂයේ අගභාගයේ පටන් යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩුවාදයට එරෙහිව නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතවාදය පැතිර ගිය අතර බලතල බෙදීම පිළිබඳ දේශපාලන සංකල්පය සහ එම සංකල්පය මුල්කරගත් බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් වූයේ ඒකාධිපති රාජාණ්ඩුවට එරෙහිව නූතන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අවශ්‍යතාවයෙනි.
ආණ්ඩුවේ බලතල සහ ඒකාධිපති පාලනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතී. එනම් ආණ්ඩුවේ බලතල ඒකාග්‍ර වූ විට හෙවත් ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බලතල තනි පුද්ගලයෙකු වෙත සංකේන්ද්‍රගත වූ විට ඒකාධිපති පාලනයක් නිර්මාණය වේ. එහෙයින් ආණ්ඩුවේ බලතල පංගු කළවිට හෙවත් බෙදා වෙන්කළ විට ඒකාධිපති පාලනය අහෝසිවේ. මේ ආකාරයෙන් ආණ්ඩුවේ බලතල ඒකාධිපතිත්වය අතර නිශ්චිත සම්බන්ධයක් පවතී.සමාජයේ නිදහස තහවුරු කිරීම සඳහා ඒකාධිපති පාලනය අහෝසි කල යුතු බවත්, ඒකාධිපති පාලනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවේ බලතල බෙදිය යුතු බවත් නූතන යුගය ආරම්භක වකවානුවේදී ප්‍රථමවතාවට ප්‍රකාශ කලේ ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයෙකු වූ ජෝන් ලොක් විසිනි. 1688 ඉංග්‍රීසි විප්ලවය කෙරෙහි බලපෑ දේශපාලන අදහස් ඉදිරිපත් කල පුරෝගාමී චින්තකයා වූයේ ජෝන් ලොක් ය. සමාජයේ මිනිස් නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා රජු සතුව පැවති විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බලතල බෙදා වෙන් කිරීම පිළිබඳ මතය සංකල්පයක් වශයෙන් ජෝන් ලොක් ඉදිරිපත් කළේය. එහෙත් ඔහු එම මතය න්‍යායක් වශයෙන් ඉදිරිපත් කලේ නැත. ආණ්ඩුවේ බලතල බෙදා වෙන් කිරීම න්‍යායාත්මක වශයෙන් ප්‍රථමවතාවට ඉදිරිපත් කරනු ප්‍රංශ පුනරුදයේ චින්තකයෙකු වූ මොන්ටෙස්ක්‍යු විසිනි. ඔහු 1748 දී පල කරන ලද "නීතියේ සාරය" (Spirit of Law) නැමැති ග්‍රන්ථය ඇසුරින් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන ලදී. නීතියේ සාරය නැමැති ග්‍රන්ථයේ 11 වන ඛාණ්ඩය මඟින් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය පිළිබඳව කරන ලද විග්‍රහය ඇසුරින් මොන්ටෙස්ක්‍යු බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් කර තිබේ.
සමාජයේ මිනිස් නිදහස අහෝසි වී පාලනයේ අකාර්යක්ෂමතාවය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය ආණ්ඩුවේ බලතල ඒකාග්‍ර වී තිබීම බව මොන්ටෙස්ක්‍යු විසින් පෙන්වා දෙනු ලැබීය. ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල බෙදා වෙන් කිරීමෙන් ඒකාධිපතිත්වය අහෝසි වී මිනිස් නිදහස ආරක්ෂා වන බවත් කාර්යක්ෂම පාලනයක් ඇති කළ හැකි බවත් මොහු දක්වන ලදී.
සමාජයේ මිනිස් නිදහස හා ආණ්ඩුවේ බලතල අතර පවතින සම්බන්ධතාව පිළිබඳ ආදර්ශය වශයෙන් මොන්ටෙස්ක්‍යු හඳුනාගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයයි. ඒ අනුව 1735දී මොන්ටෙස්ක්‍යු බ්‍රිතාන්‍ය සංචාරයක යෙදුනේ යථෝක්ත තත්ත්වය පිළිබඳව ගවේෂණය කිරීම සඳහාය. මේ කාලය වෙන විට බ්‍රිතාන්‍යයේ කැබිනට් ක්‍රමය ආරම්භ වී පැවති අතර අගමැති ධුරය හෙබවූයේ සර් රොබට් වෝල්පෝල් (Robert Walpole)ය. මොහු බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරයා ය. බ්‍රිතාන්‍ය වෙත පැමිණි මොන්ටෙස්ක්‍යු එරට ආණ්ඩුවේ ස්වාභාවය පිලිබඳ අධ්‍යාපනය කරනු ලැබීය. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන ආයතන පද්ධතිය හෙවත් පිළිවෙළින් පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය හා ප්‍රිවී කවුන්සිලය ප්‍රමුඛ අනෙකුත් අධිකරණ ආයතන වෙන් වෙන්ව රැස් වූ හෙයින් මොන්ටෙස්ක්‍යු අවබෝධ කර ගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය බලතල බෙදූ ආණ්ඩුක්‍රමයක් ලෙසය. බ්‍රිතාන්‍යයේ මිනිස් නිදහස තහවුරු වී ඇත්තේ මෙම ආණ්ඩුක්‍රමයෙහි බලතල බෙදීම හේතුකොටගෙන බව මොන්ටෙස්ක්‍යුගේ අවබෝධය වූයේය. එහෙයින් ප්‍රංශ දේශපාලන සමාජයේ මිනිස් නිදහස තහවුරු වීමට නම් ආණ්ඩුවේ බලතල බෙදා වෙන් කළයුතු බව මොන්ටෙස්ක්‍යුගේ අදහස විය.
දෙවනුව පාලනය කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහා ආණ්ඩුවේ බලතල බෙදා වෙන්කළ යුතුය යන මතය මොන්ටෙස්ක්‍යු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂ ප්‍රාගුණ්‍යය පිළිබඳ සංකල්පය ආදර්ශයට ගනිමින් ය. විශේෂ ප්‍රාගුණ්‍යය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනවල කාර්යක්ෂමතාවයයි. එම කාර්යක්ෂමතාවය ඇති වන්නේ ශ්‍රම විභජනය තුළින් ය. එහෙයින් ශ්‍රම විභජනය මඟින් විශේෂ ප්‍රාගුණ්‍යය ඇති වන්නා සේ ආණ්ඩුවේ බලතල බෙදීම තුළින් පාලනයේ කාර්යක්ෂමතාවය ඇතිවන බව මොන්ටෙස්ක්‍යුගේ මතය විය.
මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කළ බලතල බෙදීමේ න්‍යාය මඟින් ආණ්ඩුවේ බලතල බෙදීම ව්‍යුහාත්මකව හා කාර්යාත්මකව සිදුකළ යුතු බව දක්වනු ලැබේ. ව්‍යුහාත්මක යනු ආයතනික ආකාරයෙන් බලතල බෙදීමය. කාර්යාත්මක යනු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ආයතනවල කාර්යයන් අනුව බලතල බෙදීමයි.
ආණ්ඩුවේ බලතල ව්‍යුහාත්මකව බෙදීම යනු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය යනුවෙන් ආයතන තුනක් පිහිටුවා එම ආයතන එකිනෙකින් ස්වාධීන කිරීමය. එසේ එම ආයතන එකිනෙකින් ස්වාධීන වන්නේ එක් ආයතනයක සාමාජිකයින් අනෙක් ආයතනයක සාමාජිකයින් නොවන විටය. මේ අනුව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන ආයතනවල සාමාජිකයින් ආයතන මට්ටමින් අදාල ආයතනයට පමණක් සීමා වූ සාමාජිකයින් වීමෙන් ව්‍යුහාත්මකව එම ආයතන වෙන්වීම හා ස්වාධීන වීම සිදුවේ.
දෙවනුව ආණ්ඩුවේ බලතල කාර්යාත්මකව බෙදීම යනු ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ යන ආයතන තුන වෙත එකිනෙකින් වෙන් වූ කාර්යන් පැවරීමය. මේ අනුව නීති සම්පාදන කාර්යය ව්‍යවස්ථාදායකය වෙතද, නීති ක්‍රියාත්මක කිරීමේ කාර්යය විධායක වෙතද, විනිශ්චය කිරීමේ කාර්යය අධිකරණය වෙතද වෙන් වෙන් වශයෙන් පැවරිය යුතුය. එහිදී එක් ආයතනයක කාර්යයක් අනෙක් ආයතනයට ක්‍රියාත්මක කළ නොහැකිය.
ඉහත දැක්වූ ආකාරයෙන් මොන්ටෙස්ක්‍යු විසින් ආණ්ඩුවේ බලතල බෙදිය යුතු ආකාරය න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලදී. එම න්‍යාය ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ නූතන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පැවති වකවානුවේදීය. එමෙන්ම එය කාර්මික ශිෂ්ටාචාරයෙහි මුල් වකවානුවද විය. මේ කාලයේදි තාක්ෂණය දියුණු මට්ටමක නොපැවති හෙයින් රාජ්‍ය අභ්‍යන්තර කටයුතු මෙන්ම රාජ්‍යයේ බාහිර කටයුතුද සංකිර්ණ තත්ත්වයක පැවතුණේ නැත. එමෙන්ම මෙම කාලයේදී නූතන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පැවති බැවින් දේශපාලන පක්ෂ බිහිවී තිබුණේද නැත. එහෙයින් නූතන ප්‍රජාතන්ත්‍රවාදය පැතිරුණු මුල් කාලයේ සමාජයේ මිනිස් නිදහස තහවුරු කිරීම සඳහාත්, පාලනයේ කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහාත් ආණ්ඩුවේ බලතල බෙදීම නැමැති ක්‍රියාමාර්ගය භාවිතයට ගතහැකි විය. 1789දී ක්‍රියාත්මක වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පදනම වශයෙන් මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීමේ න්‍යාය උපයෝගී කරගනු ලැබූවේ එවකට එම න්‍යායෙහි පැවති වලංගුභාවය හේතුකොට ගෙනය.



