My Blog List

Sunday, 31 March 2024

කාන්තා අයිතිවාසිකම්

 


මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එහි වැදගත් එක් පාර්ශවයක් වශයෙන් කාන්තාවන් හදුනාගත හැකි වේ. එබැවින් ඔවුන්ට හිමිව තිබෙන අයිතිවාසිකම් පිළිබඳව ද සාකච්ඡා කිරීම මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජන සමාජයක කුඩාම හා මූලික සමාජ ඒකකය වන්නේ පවුලයි පවුල් ඒකකය තුළ බිරිඳක්, මවක්, දියණියක හෝ මිත්තනියක වශයෙන් කාන්තාව ඉටු කරන්නේ මිල කල නොහැකි තරම් කාර්යභාරයකි. දරුවන් බිහි කිරීම, ඔවුන් හදාවඩා ගැනීම, ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම, ආහාර හා පෝෂණ අවශ්‍යතා ඉටු කිරීම, අධ්‍යාපනය ලබාදීම ආදිය තුලින් පවුලක සුභසිද්ධිය හා සමාජයේ යහපැවැත්ම සදහා කාන්තාව විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තම පවුලේ කටයුතු වලට මෙන්ම රටක ජාතික ආර්ථිකයට ද කාන්තාව ලබාදෙන ශ්‍රම දායකත්වය අගයකොට සැලකිය යුතුය එමෙන්ම සමාජයේ විවිධ භූමිකාවන්ට අයත් වගකීම් උසුලමින් ඉතා වැදගත් සමාජ මෙහෙවරක් ඇය විසින් ඉටු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ජන ගහනයෙන් 50%ක් පමණ ඉක්මවන්නේ කාන්තාවන්‍ ය. එමෙන්ම රටේ ශ්‍රම දායකත්වයෙන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන්‍ ය. එම නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වල තුන්වන පරිච්ඡේදය තුළින් කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳව විස්තරාත්මකව දක්වා තිබේ. වර්තමානය වන විට සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුවන හිංසන වර්ග 03ක් හදුනාගත හැකිය. එනම්,

1. කායික හිංසා

2. මානසික හිංසා

3. ලිංගික හිංසා

මෙම හිංසාවන් බොහෝවිට සිදුවන අවස්ථා ද පහත දක්වා ඇති ආකාරයෙන් හදුනාගත හැකි වේ.

පවුල තුලින් සිදුවන හිංසා

• සමාජය තුලින් සිදුවන හිංසා

• රජය මගින් සිදුවන හිංසා

කාන්තාවන් නිරන්තරයෙන්ම මෙවැනි හිංසාවන්ට ලක්වන හෙයින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ගෙන ඇති නීති රීති හා සම්මුතීන් කිහිපයක් පවතී. ඒවානම්,

• 1978 ස්ථාපිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තිය.

• වධහිංසා වලින් හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලින් නිදහස් වීමට ඇති අයිතිය ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් තහවුරු කර ඇත.

• 17වන වගන්තිය 3වන පරිච්ඡේදයේ විධි විධාන අනුව පුද්ගලයෙකුට හිමි මූලික අයිතිවාසිකම් විධායක හෝ පාලක ක්‍රියාමාර්ග මගින් කඩ වූ හෝ කඩ වීමට ආසන්න වන අවස්ථාවන්හිදී 126වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමේ අයිතිය.

• 1993 මාර්තු මස 03වන දින සම්මත කරන ලද කාන්තා ප්‍රඥප්තිය

• 1996 අංක 49 දරණ කාන්තාවන් හා බාලවයස්කරුවන් සේවයේ යෙදවීම් පිළිබඳ පණත.

• මාතෘ ප්‍රතිලාභ ආඥාපනත මගින් මාතෘත්වයට පත්වන කාන්තාවන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම.

• කාර්යාල හා කඩ සාප්පු ආඥාපනත සාප්පුවක හෝ කාර්යාලයක සේවය සදහා යොදවන කාන්තාවන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම.

• විවාහ පනත මගින් ද කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු සිදු කොට ඇත.

• 2005 අගෝස්තු මස 09 වන දින සම්මත වූ 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනත.

• අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය

• රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

එසේම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා පිහිටුවා ගෙන ඇති ආයතනයන්ද හදුනාගත හැකිය. තම අයිතිවාසිකම් කඩ වීමකදී මෙම ආයතන හරහා ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමට කාන්තාවන් වන අපට අවස්ථාව ලබා දී තිබේ. ඒ ආයතන ලෙස,

• 2005 වසර තුල දී පිහිටුවන ලද ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය

• ශ්‍රී ලංකා කාන්තා කටයුතු කාර්යාංශය.

• 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක පනත හරහා පිහිටවූ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය.

• ජාතික කාන්තා කමිටුව

• ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

• පොලිස් ස්ථානයන්හි පවතින ළමා හා කාන්තා කාර්යාංශය.

• ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කරන මනෝ උපදේශන සේවා නිලධාරීන්

• කම්කරු කාර්යාල.

කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම තුල ඇයගේ පූර්ණ ඵලදායිතාව රටට අහිමි වේ. කාන්තාවන්ට ඇතිවන පීඩාවන් බොහෝවිට තම පවුල් ඒකකය හා ළමයින් කෙරෙහිද සෘණාත්මකව බලපානු ලබයි. මෙකී අයිතිවාසිකම් ආරක්ෂා නොවීම තුල එය රටක ආර්ථික හා සමාජ සංවර්ධනයට මෙන්ම රටක සමස්ථ දියුණුවටම විශාල බලපෑමක් ඇති කරයි. මනුෂ්‍යයන් වශයෙන් සියලු දෙනාටම හිමි විය යුතු මානව අයිතිවාසිකම් පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද එක සේ හිමිවිය යුතු වේ. එබැවින් කාන්තා අයිතිවාසිකම් ද මානව අයිතිවාසිකම් ගණයට අයත් වන බැවින් කාන්තා අයිතිවාසිකම් කඩවීම තුල මානව අයිතිවාසිකම් ද කඩවේ. එබැවින් රටක් තුල කාන්තා අයිතිවාසිකම් ද සුරක්ෂිත කිරීම ඉතාමත් වැදගත් බව හදුනාගත හැකි වේ.

කාන්තා අයිතිවාසිකම් හදුනාගනිමු.


ශ්‍රී ලංකාව තුල කාන්තා අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සදහා 1993 මාර්තු මස 03වන දින කාන්තා ප්‍රඥප්තිය සම්මත කරන ලදී. රජය විසින් කාන්තාවන්ගේ පූර්ණ සංවර්ධනයෙහි අභිවර්ධනය සහතික කරනු පිණිස ව්‍යවස්ථා සම්පාදනය කිරීම ඇතුළු විශේෂයෙන් දේශපාලන, සමාජීය, ආර්ථික හා සංස්කෘතික යන සියලු ක්ෂේත්‍ර වලට එනම් කාන්තාවන්ට පුරුෂ පක්ෂය හ සමාන පදනමක් මත මානව අයිතිවාසිකම් හා මූලික්ද් නිදහස ක්‍රියාත්මක කිරීම භුක්ති විදීම සහතික කරලීමේ කාර්යය සදහා උචිත සියලු පියවර ගත යුතු බව සදහන් වේ. මෙහිදී මෙම ප්‍රඥප්තිය තුළ පුළුල් ක්ෂේත්‍ර 07ක් පිළිබඳව අවදානයට ලක් කරමින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දක්වා ඇත. එනම්,

1. දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්.

2. පවුල් ඒකකය තුළ අයිතිවාසිකම්.

3. අධ්‍යාපනයට හා පුහුණු වීමට ඇති අයිතිය.

4. ආර්ථික කටයුතුවලට හා එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය.

5. සෞඛ්‍යාරක්ෂාවට සහ පෝෂණයට ඇති අයිතිය.

6. සමාජීය වෙනස්කම් වලින් ආරක්ෂාව ලැබීමේ අයිතිය.

7. ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාව ලැබීමේ අයිතිය.

මෙලෙස මෙම කාන්තා ප්‍රඥප්තිය තුළ කොටස් 07ක් යටතේ කාන්තා අයිතිවාසිකම් බෙදා දක්වා ඇති නමුත් මා විසින් එය මෙසේ ප්‍රධාන කොටස් 03ක් යටතේ ගොනු කොට දක්වා ඇත. එනම් ඒවා පහත පරිදි වේ.

1. සමාජ අයිතිවාසිකම්

2. දේශපාලන අයිතිවාසිකම්

3. ආර්ථික අයිතිවාසිකම්


සමාජ අයිතිවාසිකම් යටතේ,

සමාජ අයිතිවාසිකම් යන විෂය පථය ලෙහෙසියෙන් සීමා කල නොහැක. ඒ අනුව සමාජ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය, තෘප්තිමත්භාවය ශ කාන්තාවන් විසින් මෙම අයිතිවාසිකම් සැබා ලෙස භුක්ති විදීම මෙහිදී අවධාරණය කරයි. විවාහය, පවුල් ජීවිතය ගබ්සාව සහ අධ්‍යාපනය යන ප්‍රධාන උප ඒකක 04ක් යටතේ මෙම සමාජ අයිතිවාසිකම් විශ්ලේෂණය කරනු ලබයි. විවාහය නැමැති උඅප ඒකකය තුළ ඉදිරිපත් කරන ලද අයිතිවාසිකම් වලට සහකරු තෝරා ගැනීමේ අයිතිය, දික්කසාද වීමේ අයිතිය, නැවත විවාහ වීමේ අයිතිය, මිශ්‍ර විවාහයකදී පිරිමියාට මෙන්ම කාන්තාවට ද තම කැමැත්ත පරිදි තීරණ ගැනීමෙ අයිතිය ආදිය ඇතුලත් වේ. පවුල් ජීවිතය නැමැති උප ඒකකය තුළින් ඉදිරිපත් කරන්නේ සහකරු හෝ සහකාරිය සමග ඇති සබදතා අනුව පවුල් ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ තෘප්තිමත් වීමට ඇති අයිතියයි. එනම් දරුවන් සම්බන්ධව තීරණ ගැනීමේදී දෙදෙනාටම සම අවස්ථා හිමිවීම, දේපල අයිතිය අත්පත් කර ගැනීමේදී සාධාරණ තීරණ ගැනීම, පවුල් නාමය හා ලියාපදිංචිය තෝරා ගැනීමේදී ඇති අයිතිය, දරුවන් සංඛ්‍යාව හා දරු උපත් පරතරය පිළිබඳව නිදහස් තීරණ ගැනීමේ අයිතිය යනාදියයි. ගබ්සාව තුළින් උපත් පාලනය කිරීමට සහ පවුල් සැලසුම් කිරීමට ඇති අයිතිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබයි. එසේම අවසාන වශයෙන් අධ්‍යාපනය නැමැති උප ඒකකය තුළ අවුරුදු 10ක අනිවාර්ය අධ්‍යාපනය, සමාන අධයාපන අවස්ථාවලට පිවිසීමට ඇති අයිතිය, අධ්‍යාපනයෙහි ක්‍රියාශීලීව සහභාගි වීමට සම අඅවස්ථා ලබා දීම, දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය තෝරා ගැනීමේදී පියාට මෙන්ම මවටද සම අවස්ථා ලැබීම, ආබාධිත පුද්ගලයන්ට අධ්‍යාපන කටයුතුවල නියැලීමේ සම අවස්ථා ලබා දීම. ප්‍රතිලාභ ලබා ගැනීමේදී සම අවස්ථා සැලසීම යනාදී වූ අයිතිවාසිකම් මෙම සමාජ අයිතිවාසිකම් ගණය යටතේ හදුන්වා දියහැකි වේ.


දේශපාලන අයිතිවාසිකම් ලෙස,

දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මුල් කාලීනව වැඩි වශයෙන් කතා බහට ලක් නොවන ඒකකයක් වශයෙන් හදුනාගත හැකි නමුත් මෑතකාලීනව මෙය කතාබට ලක් වූ මාතෘකාවක් වශයෙන් හදුනාගත හැකි වේ. එසේම කාන්තාවන් වැඩි උනන්දුවක් නොදක්වන ඒකකයක් ලෙසටද හදුනාගත හැකිය. නමුදු කාන්තාවන්ට හිමි අනෙකුත් අයිතිවාසිකම් හා සමානවම දේශපාලන අයිතිවාසිකම් ද පවතී. එලෙස කාන්තාවන්ට හිමිවන අයිතිවාසිකම් පහත පරිදි හදුනාගත හැකි වේ.

• රටේ දේශපාලන හා පොදු ජීවිතයෙහි මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ වලද කාන්තාවන්ට එරෙහිව ඇති වෙනස්කම් තුරන් කිරීම සදහා රජය විසින් කාන්තාවන්ට පුරුෂ පක්ෂය හා සමානවම අයිතිවාසිකම් ලබා දිය යුතු බව.

• සියලුම ඡන්ද විමසීම් වලදී, ජනමත විචාරන වලදී ඡන්දය දීමට හා ජනතාව විසින් පත් කරන මණ්ඩල වලට තෝරා පත්වීමට සුදුස්සන් වීම.

• ජාතික, පළාත්, ප්‍රාදේශීය ඡන්ද විමසීම් වලදී නාමයෝජනා ලබාදීම සදහා සාධාරණ නියෝජයක් ලැබීම.

• රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී සහභාගි වීමට, රජයේ තනතුරු දැරීමට ඇති අයිතිය.

• වෘත්තීය සංගම්, දේශපාලන සංවිධාන හා සංගම්වල කාන්තා සහභාගිත්වය තහවුරු කල යුතු බව.

• ජාත්‍යන්තර මට්ටමේ දී තම රාජ්‍ය නියෝජනය කිරීමේ සහ ජාත්‍යන්තර සංවිධාන කාර්ය වල හා කටයුතු වල දී පුරුෂ පක්ෂය හා සමානවම වෙනස්කමකින් තොරව සහභාගි වීමේ අවස්ථාව.

• තම රටවැසිභාවය අත්කර ගැනීමට, වෙනස් කිරීමට හෝ පවත්වා ගැනීමට පුරුෂ පක්ෂය හා සමාන අයිතිවාසිකම් භුක්ති විදීමේ අයිතිය.


ආර්ථික අයිතිවාසිකම් වශයෙන්,

මුල් කාලීනව කාන්තාවන්ට ආර්ථික අයිතිවාසිකම් හිමි නොවුන අතර මෑත කාලීනව සමාජ නවීකරණයත් සමග මෙම අයිතිවාසිකම් ඉතා වැදගත් ඒකකයක් වශයෙන් හදුනාගත හැකි වේ. එහිදී මේ යටතේ ඇති කාන්තා අයිතිවාසිකම් පහත පරිදි හදුනාගත හැකි වේ.

• වැඩ කිරීමට හා මුදල් ඉපයීමට ඇති අයිතිය.

• පියාගේ දේපළ උරුම කරගැනීමේ අයිතිය.

• සැමියාගේ දේපළ බෙදා ගැනීමේ අයිතිය.

• නඩත්තු දීමනා ඉල්ලා සිටීමේ අයිතිය.

• තමන්ගේ උත්සාහයෙන් උපයාගත් මුදල් අයිතිකර ගැනීමේ අයිතිය.

• රක්ෂණ සහ වෙනත් මූලාශ්‍ර වලින් ලැබෙන මුදල් අයිති කර ගැනීමේ අයිතිය.


ජාතික රූපවාහිනිය ආරම්භය හා ක්‍රියාකාරිත්වය


ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වූ ස්වාධීන රූපවාහිනිය ආරම්භ වී වසර 03ක් ගෙවී යනවාත් සමඟම ශ්‍රී ලංකාවේ දෙවන රූපවාහිනී නාලිකාව වශයෙන් ජාතික රූපවාහිනිය ආරම්භ විය. එකල පැවති ජේ. ආර් ජයවර්ධන රජයට ජපානයෙන් තිළිනයක් ලෙස මෙහි උපකරණ හා විකාශන කුලුණු ලැබුනු අතර විකාශන මධ්‍යස්ථානය කොළඹ ටොරින්ටන් චතුරස්‍රය විය. 1982 අංක 06 දරණ පාර්ලිමේන්තු පණත මඟින් මෙම නාලිකාව පිහිටුවන ලදී. මෙම ජාතික නාලිකාව ආයතනයක් ලෙස පිහිටුවන ලද්දේ 1982 පෙබරවාරි 14වන දින වන අතර නිළ වශයෙන් සිය විකාශන කටයුතු ආරම්භ කරන ලද්දේ ඊට පසු දිනයි. එනම් 1982 පෙබරවාරි 15 වන දිනයි. ප්‍රථමයෙන් මෙම නාලිකාව හරහා විකාශනය වූයේ එවකට ජනාධිපති ධුරය දැරූ ජේ. ආර් ජයවර්ධන මහතාගේ කතාවකි. ආරම්භයේ දී මෙහි විකාශනය කෙරුණේ සිංහල වැඩසටහන් වේ. මෙහි ප්‍රධාන අයිතිය හිමි වන්නේ ශ්‍රී ලංකා රජයට වන බැවින් ජාතික රූපවාහිනිය රාජ්‍ය නාලිකාවක් වශයෙන් හඳුනාගත හැකිය. මෙහි විකාශන කටයුතු ආරම්භ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව මැදිරි දෙකක්, හඬ කැවීමේ මැදිරියක්, බාහිර විකාශ රථයක් හා අඟලේ පටයෙහි VTR හා අඟල් භාගය පටයෙහි U-Matic රේඛීය සංස්කරණ පහසුකම් සමඟ අංග සම්පූර්ණ ප්‍රධාන පාලක මැදිරියක් විය. 1986දී ජපන් ආධාර යටතේ එහි පහසුකම් යළිත් පුළුල් කෙරුණු අතර මෙරට රූපවාහිනී නාලිකාවක් සතු වූ විශාලතම මැදිරිය ඉදි කෙරෙන්නේ මේ යටතේ ය. නැවත 1988 දී ඩිජිටල් තාක්ෂණයෙන් යාවත්කාලීන වූ අතර ඒ සඳහා ද ආධාර ලබා දී තිබුණේ ජපන් රජයයි.

මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික, තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයීමයි. රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් අද වන විට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය විකාශන කටයුතු පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා වනුයේ එම්. ජේ පෙරේරා මහතා වන අතර වර්තමාන සභාපතිවරයා වන්නේ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ය. ලංකාව පුරා ව්‍යාප්ත වන පරිදි තම විකාශන කටයුතු ගෙන යෑම සඳහා UHF, VHF යන සංඛ්‍යා තරංග දෙක උපයෝගී කර ගනු ලබයි. ජාතික රූපවාහිනියේ ඉංජිනේරු අංශය ඉතා වැදගත් අංශයකි ලංකාවේ අනෙකුත් නාලිකා හා ගෙන බැලීමේ දී තාක්ෂණික අතින් වටිනා ශිල්ප ක්‍රම මෙම නාලිකාව සතුව පවතී. විකාශනයන් සිදු කිරීමේ දී දර්ශන ඉතා පැහැදිලිව හා කාර්යක්ෂමව ජනතාවට ලබා දීම මොවුන්ගේ අරමුණකි. ඒ අනුව ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණ සවි කර ඇත්තේ ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද මතය. මෙහි විකාශන කටයුතු සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ද යොදා ගනී. මෙහි රූප ආකෘතිය PAL-BG වේ. මෙම නාලිකාව සතු ලක්ෂණ කිහිපයකි. එනම්,

• පසුතල නිර්මාණ ක්‍රමයන්ට ප්‍රමුඛතාවය දීම.

• ආලෝකකරණය.

• අංග රචනය

 ඒ අතර ප්‍රධාන වෙයි. එමෙන්ම ලංකාවේ පළමු අධි විස්තෘත මැදිරිය මෙම නාලිකාව සතුය. ආණ්ඩුවේ දැක්ම මොවුන්ගේත් දැක්ම වන අතර 50%ක්ම මෙම නාලිකාව ආණ්ඩුව සමඟ බැදී ඇත. මෙම නාලිකාවේ අරමුණ ජනතාවට යහපත් දේ කිරීමය. එසේම භාෂාව රැකීමට පුළුල් තැනක් ලබා දෙනු ලබයි. මෙරට මාධ්‍යයේ පෙරගමන් කරුවෙකු වන ජාතික රූපවාහිනිය සැටලයිට් තාක්ෂණය උපයෝගී කර ගනිමින් විදෙස්ගත ව සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ද ගොස් සිටී. මෙරට රූපවාහිනී ඉතිහාසයේ නව ගමනක් යමින් ජාතික රූපවාහිනිය මේ වන විට මැදපෙරදිග සහ යුරෝපා රටවල් ආවරණය කොට ගනිමින් විකාශය වේ. ඒ අනුව euetelsat hotbird- 13d චන්ද්‍රිකාව ඔස්සේ අදාළ රටවල විකාශනය වෙයි. එසේම මැදපෙරදිග සහ යුරෝපයෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ජාතික රූපවාහිනිය නැරඹිය හැක්කෙ 11.179MHz (Horizontal) ඔස්සේය. ඒ අනුව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ද මෙරට සිදුවන කාලීන සිදුවීම් පිළිබඳව දැන ගැනීමට හැකියාව ලැබී ඇත. ජාත්‍යන්තර වශයෙන් ජාතික රූපවාහිනිය තමන්ගේ සම්ප්‍රේෂණය විසුරුවා හැරීමට කටයුතු කරනවා සේම ශ්‍රී ලංකාව තුළ ද සිදු කෙරෙන සම්ප්‍රේෂණ කටයුතු ඉහළ මට්ටමක පවත්වාගෙන යාමටද කටයුතු කරමින් සිටී.

ජාතික රූපවාහිනියේ සහෝදර නාලිකා වශයෙන් දෙමළ මාධ්‍යයෙන් විකාශන කටයුතු මෙහෙයවන නේත්‍රා නාලිකාව (Nethra Tv) සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු මෙහෙයවන අයි නාලිකාව (Chanel Eye) හඳුනාගත හැකිය. 2008 ජනවාරි 01 දින සිට නේත්‍රා නාලිකාව සහ අයි නාලිකාව එකම විකාශන සංඛ්‍යාතය හුවමාරු කර ගනිමින් තම විකාශන කටයුතු සිදු කරගෙන යන ලදී. එකම විකාශන සංඛ්‍යාතය හුවමාරු කර ගනිමින් විකාශනය වූ මෙය Nethra Eye ලෙස හඳුන්වනු ලැබීය.

ප්‍රචාරණ උද්යෝග පාඨය

"මේ පියාපතේ සෙවනට එන්න."


දැක්ම

" ඇසිදිසි මාධ්‍යයේ නිබඳ ශ්‍රී ලාංකේය මුද්‍රාව "


මෙහෙවර

" දැනුම, විනෝදය, අධ්‍යාපනය සපිරි කාලෝචිත, අර්ථපූර්ණ, ප්‍රතිභාසම්පන්න වැඩසටහන් කැපවීමෙන් යුතුව එක්සත්ව නිර්මාණය කර නව තාක්ෂණයෙන් ඔප්නංවා සිව්දෙස විසිරි ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂා අභිබවමින් විසුරුවා හැරීම. "


ඉලක්ක

• රූපවාහිනී වැඩසටහන්වල ආකෘතිමය වෙනස්කම් තුළින් ආකර්ෂණීයභාවය, විවිධත්වය හා අර්ථපූර්ණභාවය වැඩිදියුණු කිරීම.

• නව තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පර්යේෂකයින් වෙත පහසුවෙන් ළඟා වීම.

• ආයතනයේ භෞතික හා මානව සම්පත් ඵලදායි ලෙස වැඩිදියුණු කිරීම.

• ආයතනයට අතිරේක ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීම.

• තරඟකාරිත්වයට ගැළපෙන පරිදි ආයතනයේ ව්‍යවස්ථාපිත රාමුව සංශෝධනය කිරීම.


Wednesday, 27 March 2024

ජාතිය සහ ජාතිකවාදය

 


වර්තමාන ලෝකයේ දේශපාලන ක්‍රියාවලීන්, දේශපාලන සාකච්ඡා හා විවාද මෙන්ම දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් ද මහත් සේ අදාළවන සංකල්ප තුනක් නම් ජනවාර්ගිකත්වය, ජාතිය සහ ජාතික රාජ්‍ය යන මේවාය. එකිනෙකට සම්බන්ධ දේශපාලන සංකල්පයන්‍ ය. වර්තමාන ලෝකය තුළ දේශපාලනය යන්න පරිකල්පනය කිරීමටත්, දේශපාලන ක්‍රියාවලීන් තේරුම් ගැනීමටත්, මෙම සංකල්ප තුන නැතුවම බැරිය. ඒවා විශේෂයෙන් ලංකාවටද අදාළ වන ඒවාය. 

ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස බලන විට පෙනෙන දෙයක් නම් "ලාංකික ජාතියක්" ගොඩනැගීම පිළිබඳ නිරන්තර දේශපාලන විවාදයක්ද, දේශපාලන ගැටුම්ද පැවතුණ බවයි. "ජාතිය" යන්න පිළිබඳව ලාංකික සමාජ සන්දර්භය තුළ පොදුවේත්, බුද්ධිමතුන් අතරවත්, දේශපාලඥයන් අතරවත්, පොදු වටහාගැනීමක් හෝ ඒකමතිකත්වයක් හෝ දක්නට නොලැබේ. සිංහල සමාජයේ සිටින දේශපාලඥයින්, බුද්ධිමතුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිතුවේ සිංහල භාෂාව කතාකරන තම ප්‍රජාව වෙනම "ජාතියක්" බවයි. මෙම අදහසම, එනම් තම ප්‍රජාවන්ද වෙනම "ජාතීන්" වෙතී යන අදහස දෙමළ සමාජයේද, මුස්ලිම් සමාජයේද ගොඩනැගිණ. මේ අතර "ලාංකික ජාතිය" පිළිබඳ අදහසද ඉදිරියට ආවේය. එම අදහසට විශේෂ වැදගත්කමක් ලැබුණේ 1948 නිදහසින් පසු "ශ්‍රී ලංකාව" යන නූතන රාජ්‍යය ගොඩනැගීමෙන් පසුය. සිංහල ජනයා වෙනම "ජාතියක්" නම්, දෙමළ ජනයා වෙනම ජාතියක් නම්, මුස්ලිම් ජනයා වෙනම ජාතියක් නම්, සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රජාව වෙනත් ජාතීන් ලෙස සැළකීම හරිද? මේ ප්‍රජාවන් තුන එකතුවී එක ජාතියක් ගොඩනගන්නේ නම්, එය කළ යුත්තේ කවර කොන්දේසි මතද? මේවා වනාහි පසුගිය දශක කිහිපයේ මෙරට දේශපාලනයෙහි නිරන්තරයෙන් මතු වූ ප්‍රශ්නයයි.

මෙම ප්‍රශ්න කිසිවකටවත් පහසු විසඳුමක් නැත ඒවා ලංකාවටම සුවිශේෂ වූ දුශ්කරතාද නොවේ. "ජාතිය" ගොඩනැගීම පිළිබඳ ගැටලුව විශේෂයෙන් 1980 ගණන්වල සිට ලෝකයේ රටවල් ගණනාවකම දේශපාලන න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය කාරණය බවට පත්වී තිබින. ලංකාවද ඇතුලු රටවල් ගණනාවක්ම අභ්‍යන්තර සිවිල් යුද්ධ වලට ඇදවැටී තිබුණේ එම ප්‍රශ්නයට පහසු විසඳුම් නොතිබුණ නිසාය. 

"ජාතිය ගොඩනැගීම" පිළිබඳ මෙම ගැටළුව තනිකරම ජාතිය පිළිබඳ කාරණයක්ම ද නොවීය. එය රාජ්‍යය පිළිබඳ ගැටලුව සමඟද ළඟින්ම බැඳී තිබුණි. රාජ්‍යය ගොඩනැගීම යන අරමුණ සමඟ ජාතිය ගොඩනැගීම යන්නද මිශ්‍ර වූ විට ජාතිය සහ රාජ්‍යය යන දෙකම පත්වූයේ මහත් අවුලකටය එක රාජ්‍යයක් තුළ සිටිය යුත්තේ එක ජාතියක්ද? ජාතීන් කිහිපයකට එක් රාජ්‍යයක් තුල සහජීවනයෙන් සිටිය හැකිද? ජාතීන් කිහිපයක් එක් රාජ්‍යයක් ඇතුලත සහජීවනයෙන් සිටින විට ඒ එක් එක් ජාතියක් සැලකිය යුත්තේ තමන් වෙනම ජාතීන් හැටියටද, නැත්නම් එකම දේශපාලන ජාතියක සාමාජිකයන් වන වාර්ගික ප්‍රජාවන් හැටියටද? එසේ වන්නට නම් ජාතිය පිළිබඳ අපේ සාම්ප්‍රදායික පරිකල්පනයන් වෙනස් කළ යුතු නේද? යන මේවා එම අවුල තුළ මතු වූ වැදගත් ප්‍රශ්නයන්‍ ය.

මේ අතර ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටලුවද අප රටේ දේශපාලන හා බුද්ධිමය විවාද අතර මුල්තැන ගෙන තිබූ එකකි. එම විවාදයේදී මතුවූ මූලික ප්‍රශ්නය නම් ලාංකික යන ජාතියේ ජාතික අනන්‍යතාවය විය යුත්තේ රටේ බහුතර ප්‍රජාව සිංහල බෞද්ධ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවය වන සිංහල බෞද්ධකම නොවන්නේද? යන්නයි. සිංහල සමාජයේ බුද්ධිමතුන් අතරින් මතුවූ ප්‍රබල තර්කයක් වූයේ එය එසේ විය යුතුය යන්නයි. එහෙත් එයට විරුද්ධව තර්කයන්ද ගොඩනැගිණ. එයින් කියැවුණේ ලංකාව නැමැති රාජ්‍යයේ සියලු පුරවැසියන්ගේ ජාතික අනන්‍යතාවය සිංහල බෞද්ධකම වූ විට එය සුළුතර ප්‍රජාවන්ට වෙනස්කම් කිරීමක් වන බවයි. ලාංකික අනන්‍යතාවයක තිබිය යුත්තේ සෑම ආගමික, භාෂාමය හා සංස්කෘතික ප්‍රජාවකටම එකසේ බෙදාගතහැකි, පොදු බහු සංස්කෘතික අනන්‍යතාවයකි යන්න එම දෙවැනි තර්කයෙන් මතුවූ අනෙක් අදහසයි. 

ජාතිය යනු කුමක්ද? ජාතියේ අනන්‍යතාවය විය යුත්තේ කුමක්ද? ජාතිය පිළිබඳ අපේ සාම්ප්‍රදායික වටහාගැනීම් ප්‍රජාතන්ත්‍රවාදී නූතන රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණට ප්‍රමාණවත් වන්නේද? යනාදී ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ කිරීමට තිඩුදුන් සාධකයක් නම් ජාතිකවාදී ව්‍යාපාර විසින් එම ප්‍රශ්න දේශපාලන ක්ෂේත්‍රය තුළ මතු කරනු ලැබීමයි. ජාතිකවාදය (nationalism) මතුවී තිබෙන්නේ මතවාදයක් හැටියට මෙන්ම දේශපාලන හා සමාජ ව්‍යාපාරයක්ද හැටියටය. ජාතිකවාදී ව්‍යාපාරවලින් කෙරෙන කාර්යය නම් තමන් එක් ජාතියකට අයත් යැයි සිතන ප්‍රජාවන්ගේ අභිලාෂයන් දේශපාලන තලයට සහ රාජ්‍ය බලය පිළිබඳ ක්ෂේත්‍රයට ගෙනඒමයි. ජාතියක් යනු දේශපාලන පරමාධිපත්‍යයට හිමිකම් කියන, ඒ නිසාම රාජ්‍යයක් හැටියට සංවිධානයවීමේ හිමිකම සහ අයිතියද තිබෙන සාමූහික ප්‍රජාවක්‍ ය. මෙය වනාහී ජාතිකවාදී ව්‍යාපාර තමන් නියෝජනය කරන ප්‍රජාවන්ට දෙන අතිමූලික දේශපාලන පණිවිඩයයි. මෙම පණිවිඩය මඟින් ප්‍රජාවන් දේශපාලන වශයෙන් සංවිධානය කර බලමුලු ගැන්වීමට ජාතික විමුක්ති අරගලය යනුවෙන් හැඳින්වෙන යුද්ධවල තම සාමාජිකයින් මෙහෙයවීමට සහ අතීශයින්ම කටුක දුක්ඛිත තත්ත්වයන් සහ පරාජයන් පවා ඉවසා දරා සිටීමට ප්‍රජාවන් සූදානම් කිරීමට ජාතිකවාදී ව්‍යාපාරවලට හැකි වී තිබේ. මෙම කාරණයට හොදම නිදසුන් සපයන්නේ පසුගිය දශක කිහිපය තුළ ලංකාවයි. ජාතිකවාදය නූතන දේශපාලනයේ ගමන් මග නිර්ණය කරන ප්‍රධාන සාධකයක් වී ඇතැයි ලංකාවේ අත්දැකීම් ආශ්‍රයෙන් අපට කිවහැකිය.

ජාතිකවාදී මතවාද සහ ව්‍යාපාර දෙස බලන විට ඒවා තුන් ආකාරයකින් පැනනැගී තිබෙනබව පෙනේ. 

පළමුවැන්න 

එනම් ජාතික රාජ්‍යයේ අනන්‍යතාව මත ගොඩනැගුණු ජාතිකවාදී මතවාද සහ ව්‍යාපාරයි. එය ආරම්භවූයේ 18 වැනි සියවසේ යුරෝපයේය. පසුව එය යුරෝපීය නොවන සමාජවලටද පැතිරිණ. එම මතවාදයේ මූලික අදහස නම් රාජ්‍යයක දේශසීමා ඇතුලත ජීවත්වන ප්‍රජාව එකම ජාතියක සාමාජිකයෝ වෙතී යන්නයි මේ අනුව සෑම ජාතියකටම රාජ්‍යයක් සඳහා හිමිකමක් තිබේ. එම රාජ්‍යයේ සිටින සෑම පුරවැසියෙකුම, එම රාජ්‍යය සමන්විතවන ජාතියේද සාමාජිකයන්‍ ය. ප්‍රංශ ජාතිය, ජර්මන් ජාතිය, ඉතාලි ජාතිය ආදී වශයෙන් මෙම ජාතිය හා රාජ්‍යය අනන්‍ය කරන ජාතිකවාදය 18 වැනි සියවසේ සිට යුරෝපයේ වර්ධනය විය. යුරෝපීය නොවන සමාජවල ඉන්දියානු ජාතිය, ලාංකික ජාතිය, නයිජීරියානු ජාතිය, ඉන්දුනීසියානු ජාතිය යනාදී වාශයෙන් පරිකල්පනය කෙරෙන්නේ මෙම ජාතිය හා රාජ්‍යය එකක් ලෙස සලකන ජාතිකවාදයයි. මෙය "ජාතික රාජ්‍යය ජාතිකවාදය" ලෙස හැඳින්විය හැකිය.

දෙවැන්න

මෙය මතුවූයේ බහුවාර්ගික රටවල සිටින වාර්ගික වශයෙන් බහුතරයක්වන ප්‍රජාව වෙතිනි. නැතහොත් ඔවුන්ගේ දේශපාලන සහ බුද්ධිමය ප්‍රකාශකයන් වෙතිනි. ඔවුන්ගේ ප්‍රධාන තර්කය නම් වාර්ගික කණ්ඩායම් ගණනාවක්ම රාජ්‍ය තුළ සිටින නිසාම රාජ්‍යයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් එම රාජ්‍යය වාර්ගික බහුතරය සමඟ අනන්‍යවිය යුතුය යන්නයි. මෙම වාර්ගික බහුතරයේ ජාතිකවාදය යන්නට ඇති උදාහරණ නම් ඉන්දියාවේ හින්දු ජාතිකවාදය, ලංකාවේ සිංහල ජාතිකවාදය, මැලේසියාවේ මැලේ භූමිපුත්‍ර ජාතිකවාදය යන මේවායි. 

තුන්වැන්න

මෙය වාර්ගික සුළුතරයේ ජාතිකවාදයයි. මෙයින් මතුකරන මූලික අදහස නම් රාජ්‍යයක් තුළ ජීවත්වන සංඛ්‍යාත්මකව සුළුතරයන් වන වාර්ගික ප්‍රජාකණ්ඩායම්ද සුළුතරයක් ලෙස නොව ජාතීන් ලෙස සලකා ඔවුන්ට සමානත්වය පදනම් කොටගත් දේශපාලන අයිතිවාසිකම් තිබිය යුතුය යන්නයි. ලංකාවේ දෙමළ ජාතිකවාදය, ඉන්දියාවේ පන්ජාබි සහ කාශ්මීර ජාට්ජිකවාදය, පිලිපීනයේ මින්දනාවෝ මුස්ලිම් ජාතිකවාදය මෙයට උදාහරණයි. 

මෙම පසුබිම සිතේ තබාගෙන ජාතිය යන සංකල්පය දෙස බලන විට පෙනෙන දෙයක් වනුයේ එය අතීශයින්ම විවාදාත්මක එකක්‍ යන්නයි. එය එසේ වී තිබෙන්නේ මතවාදී සහ දේශපාලන සංකල්පයක් හැටියට පමණක්ම නොවේ. සමාජ විද්‍යා සංකල්පයක් හැටියටද එය විවාදාත්මක එකකි.

Friday, 22 March 2024

ස්ත්‍රීවාදය


නූතන සමාජ දේශපාලන න්‍යායන් අතර ස්ත්‍රීවාදය නව සංකල්පයකි. වත්මන් සමාජ දේශපාලන කතිකාවෙහි සාකච්ඡාවට බඳුන් වන සංකල්පයක් බවට පත්ව ඇත. ස්ත්‍රීවාදය දේශපාලන මතවාදයක් මෙන්ම දේශපාලන සමාජ ව්‍යාපාරයක් ලෙසද දැක්විය හැක. 1960 දශකය වන තෙක් ලිංගික විභේදනය දේශපාලනික වශයෙන් වැදගත් සහ ආකර්ෂණීය කාරණයක් ලෙස සැළකිල්ලට භාජනය විය. එමඟින් ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට වෙන්ව තිබූ සමාජ, ආර්ථික, දේශපාලනික භූමිකා ලිංගික විභේදනය මඟින් ස්වාභාවික සහ අනිවාර්ය දේ වශයෙන් තහවුරු කරන ලදී. එනම් ලිංගික ශ්‍රමවිභජනය සමාජීය ක්ෂේත්‍රයේ සෑම තැනකම දක්නට ලැබුණි. ජීව විද්‍යාත්මකව ස්ත්‍රීන් පුරුෂයන්ට සාපේක්ෂ ශක්තිමත්භාවය අඩු යැයි පිළිගැනිණි. ස්ත්‍රිය පෞද්ගලික පරිමණ්ඩලයටත් එනම් එමඟින් දැක්වූයේ ස්ත්‍රිය දරුවන් රැකබලා ගැනීම, ගේ දොර වැඩකටයුතු පැවරීම තිබිය යුතු යැයි පිළිගැනීමට ලක්ව තිබූ අතර පුරුෂයාට පොදු සාමාජීය ක්ෂේත්‍රයේ භූමිකාවක් එනම් පොදු පරිමණ්ඩලය තුළ භූමිකවක් ඉටු කිරීමට පැවරී තිබිය යුතු යැයි පිළිගැනිණි. එනමුත් 1960 ගණන්වලදී ස්ත්‍රීවාදී චින්තනය සහ ස්ත්‍රීවාදීන්ගේ ව්‍යාපාර වර්ධනය වීමත් සමඟ අනිවාර්ය ස්ත්‍රීවාදය නොහොත් සදාතනික ස්‍ත්‍රීවාදය යන පිළිගැනීම් ප්‍රතික්ෂේප වීමට පටන් ගැනුණි. සාම්ප්‍රදායික පුරුෂ මූලික සමාජ සහ දේශපාලන චින්තනයට විරුද්ධව ස්ත්‍රීන් උදෙසා සචලීකරණයට තුඩුදෙන නව සමාජ, දේශපාලන න්‍යායන් ඉදිරිපත් විය. මේ තුළින් ස්ත්‍රීවාදී න්‍යාය ස්ත්‍රී බලගැන්වීමේ ව්‍යාපාරයක් ලෙසින් ලොවපුරා ව්‍යාප්ත විය.

ස්ත්‍රීවාදය යන පදය භාවිත කිරීම 19වන සියවස අවසාන භාගයේදී ආරම්භ විය. නූතන සමාජ සහ දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස සහ විධිමත්ව සංවිධානය වූ ව්‍යාපාරයක් ලෙස ස්ත්‍රීවාදයේ උපත බටහිර යුරෝපයේ සිදුවිය. ස්ත්‍රීවාදය මූලිකවම ස්ත්‍රීන්ගේ අත්දැකීම් මත පදනම් වී ඇති අතර ස්ත්‍රී පුරුෂ අසමානත්වය, බල සම්බන්ධතාව සහ ලිංගිකත්වය පිළිබඳව නිවැරැදි සහ විස්තරාත්මක අර්ථකතනයන් සැපයීම ස්ත්‍රීවාදී න්‍යායෙන් අරමුණු කෙරේ. සමාජීය, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් තුළ පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රියට හිමි අසමාන තත්ත්වය පිළිබඳවත් ස්ත්‍රියගේ විමුක්තිය පිළිබඳ විචාරාත්මකව ස්ත්‍රීවාදය තුළ විවරණය කරයි. 

John Stuart Mill විසින් රචිත "On Liberty" කෘතියෙහි දක්වා ඇති ආකාරයට ඕනෑම සමාජයක ශිෂ්ටාචාරය මැනිය හැකි කෝදුව එම සමාජයේ ස්ත්‍රියට දෙනු ලබන තත්ත්වය මත තීරණය කළහැකි බවයි. ස්ත්‍රිය සහ පුරුෂයන් අතර දැනට පවතින සමාජ සබඳතාව මෙහෙයවන මූලධර්මය වන්නේ එක් ලිංගික කණ්ඩායමක් තවත් ලිංගික කණ්ඩායමකට නීතිමය ලෙස යටපත් කිරීමෙන් එකී මූලධර්මය සම්පූර්ණයෙන්ම වැරදි බවත් එය මනුෂ්‍යාගේ වර්ධනයට ඇති ප්‍රධානම බාධාවකි. එක් මූලික පාර්ශවයකට විශේෂ බලයක් හෝ වරප්‍රසාද නොකර අනෙක් ලිංගික කණ්ඩායම් බල රහිත කරන තත්ත්වයක් ඇති නොවේ. සම්පූර්ණ සමානාත්මතාවයක් ඒ වෙනුවට ආදේශ කළ යුතුය.

Friedrich Engels මිනිස් ඉතිහාසයේ අසමානතාවය මත ඇති වූ පළමුවන ශ්‍රමවිභජනය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති වූ ශ්‍රමවිභජනයයි. ඉතිහාසයේ පැන නැගුණු ප්‍රථම පන්ති පසමිතුරුතාව ස්වාමියා සහ භාර්යාව අතර වන බවත් ඉතිහාසයේ මතු වූ ප්‍රථම පන්ති පීඩනය පුරුෂ ලිංගිකයන් විසින් ස්ත්‍රී ලිංගිකයන් පීඩනයට පත් කරනු ලැබීමයි.

මේ තුළින් විවරණය කරනු ලබන්නේ දේශපාලන දාර්ශනිකයන් තමන්ගේ රචනාවන් තුළ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගනිමින් ඇතිව තිබූ තත්ත්වය සාකච්ඡාවට භාජනය කර ඇති බවයි. ස්ත්‍රීවාදි පිළිගැනීම් ගතානුගතික හෝ දක්ෂිණාංශික හෝ මතවාදයන් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නුපුළුවන. ගතානුගතිකවාදීන්ගේ පිළිගැනීම වන්නේ සමාජය ඓන්ද්‍රීය සහ ස්වාභාවික අවශ්‍යතාවලින් වර්ධනය වී ඇති බවයි. ඒ නිසා ඔවුහු පෞද්ගලික ගැහැණිය (private woman) සහ පොදු මිනිසා (public man) යන පිළිගැනීම තදින් එල්බ සිටිති. මෙය ලිංගික ශ්‍රමවිභජන න්‍යායට පදනම් වූ මූලික තහවුරු කිරීමක් විය. මේ අනුව ස්ත්‍රීවාදීන් විවිධ ක්ෂේත්‍රයන් තුළින් ප්‍රකාශයට පත්වන ස්ත්‍රී පීඩනය සහ සමානාත්මතාවය වෙනුවෙන් සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් සියලු ලිංගිකයන් එක සමාන යැයි ඔවුන් විශ්වාස කරයි. එසේම ස්ත්‍රීවාදීන් බලමුළු ගැන්වීම ප්‍රකාශයට පත්වන්නේ ස්ත්‍රිවාදී ව්‍යාපාර තුළිනි. ස්ත්‍රිවාදී න්‍යාය ලොවපුරා ස්ත්‍රීන් බලගැන්වීමට ඒ සඳහා ස්ත්‍රීන් යොමු කිරීමට යොමු කරවීමට යෙදවූ ව්‍යාපාර පිළිබඳවත් ඥාණන සම්පාදනය කරනු ලබයි. ස්ත්‍රීවාදී ව්‍යාපාර බිහි වන්නේ ස්ත්‍රිය බලගැන්වීමේ ව්‍යාපාර තුළිනි. ස්ත්‍රීවාදය පිළිබඳ න්‍යායාත්මකභාවය හුදෙක් තවත් න්‍යායකට ඌණ පූර්ණයක් සපයන්නක් නොවන අතර එය සාම්ප්‍රදායික දේශපාලන චින්තනයේ තිබෙන අභිප්‍රගමනයන්ට අභියෝග කරයි.

ස්ත්‍රීවාදයේ ප්‍රධාන ධාරාවන් තුනකි. එනම්,

පළමු රැල්ල

20වන සියවසට පෙර කාලවකවානුවේ ස්ත්‍රීවාදයේ පළමු රැල්ල ඇතිවේ. Elizabeth Cady Stanton සහ Susan B. Anthony ප්‍රධාන ක්‍රියාකාරීන්වේ. මෙම කාලපරිච්ඡේදය යනු ස්ත්‍රිවාදී ව්‍යාපාර ඉතා දියුණු මුහුකුරාගිය අවධියක් නොවන අතර ස්ත්‍රීන් තමන් වෙනුවෙන් හඬක් නැගීමට උත්සහ කළ අවධියකි. 1978 ප්‍රංශ විප්ලවය මේ සඳහා බලපෑම් කරන ලදී. ඒ තුළදී ද ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සාකච්ඡාවට බඳුන් වී තිබුණි. Mary Wollstonecraft විසින් රචිත A Vindication of the Right of Woman කෘතිය පළමු රැල්ල සඳහා විශාල බලපෑමක් එල්ල කරන ලදී. ස්ත්‍රීන්ගේ අයිතීන් සහ එහි සකස්වී පවතින සමාජ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් සපයන ලදි. කෙසේ නමුත් පළමු ස්ත්‍රීවාදයේ ක්‍රියාකාරිත්වය වඩාත්ම සැළකිල්ලට ලක්කරන්නේ 19වන සියවසේදීය. ස්ත්‍රීවාදයේ පළමු රැල්ල වඩාත් ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලැබුවේ ස්ත්‍රීයට ඡන්ද අයිතිය ලබා ගැනීමටය. මීට අමතරව ස්ත්‍රීන්ට අධ්‍යාපන අයිතිය ලබා ගැනීමටත් පෞද්ගලික පරිමණ්ඩලයේ සිට පොදු පරිමණ්ඩලයට විතැන් කිරීමටත් උත්සහ කරන ලදී. ස්ත්‍රීවාදයේ පළමු රැල්ල තුළ උත්සහ කලේ නීතිමය සහ දේශපාලන අයිතීන් පුරුෂයාට සමානව ස්ත්‍රීන්ටත් ලබා ගැනීමටයි. 1840 දාශකයේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ත්‍රීවාදී ව්‍යාපාර පැන නැඟීම ආරම්භ දිය. විවිධ කණ්ඩායම් විවිධ මතවාදයන් දරණ අනන්‍යතා සහිත ස්ත්‍රී කණ්ඩායම් සංවිධානය වීමත් එම ස්ත්‍රිය තමන්ගේ අයිතිය පොදු දෙයක් බව තේරුම් ගනිමින් ක්‍රියාත්මක විය. ඇමරිකාවේ පැවති සමාජ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික ගැටළු ස්ත්‍රීන්ට තමන්ගේ දේශපාලන ශක්‍යතාව වර්ධනය කර ගැනීමට බලපෑම් කර ඇත. ඒ අතරවාරයේ Stanton සහ Mott විසින් Seneca Falls සම්මුතිය ඉදිරිපත් කරන ලදි. මෙය ස්ත්‍රීන්ගේ නිදහස සඳහා ස්වාධීන ප්‍රඥප්තියක් වූ අතර ඇමරිකාවේ ස්ත්‍රීවාදී අයිතිවාසිකම් ව්‍යාපාර වල පළමු පියවර විය. 1910-1920 වන විට ධනවාදය වර්ධනය තුළ එකී මතවාද ස්ත්‍රීවාදය තුළ විශාල බලපෑමක් ඇති කරන ලදී ස්ත්‍රීන්ගේ දේශපාලන සංගමය 1903 පිහිටුවාගෙන ඇති අතර එනම් නායකත්වය Emmeline Pankhurst සහ Christabel Pankhurst විසින් දරන ලදී. පළමු ස්ත්‍රීවාදී රැල්ල ස්ත්‍රී ඡන්ද අයිතිය ලබා ගැනීමත් සමඟ අවසන් විය.

දෙවන රැල්ල

1960 දශකය තුළ ස්ත්‍රීවාදයේ දෙවන රැල්ලේ නැඟීම සිදුවිය. මෙම කාලවකවානුව තුළ දී නීතිමය අසමානතාව, සංස්කෘතික අසමානතාව සහ සමාජය තුළ ස්ත්‍රී භූමිකාව පිළිබඳ කාරණාවක් ඇති කරනු ලැබීය. මොවුන් උත්සහ කලේ පවුල තුළ ක්‍රියාත්මක බල සම්බන්ධතාවය අවබෝධ කිරීමටයි. සමාජ, දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් පවරන විභේදනය තුළ සමානාත්මතාවය අත්පත් කර ගැනීමට කටයුතු කලහ. Betty Friedman විසින් රචිත The Feminine Mystique කෘතිය විශාල බලපෑමක් කරන ලදී. මෙකී කෘතිය තුළ අවධාරණය කරන ලද්දේ ස්ත්‍රී නිදහස සාක්ෂාත් කර ගන්නා ආකාරය පිළිබඳවත් ස්ත්‍රීයගේ පීඩනය කොතරම්ද යන්න Betty සිය කෘතිය තුළ දෙවන ලෝක යුද්ධ කාල පරාසයේදී ශ්‍රම බලකායේ සිට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්ත්‍රිය බිරිඳක් මවක් වශයෙන් ගෘහය තුළ කටයුතු කරන ආකාරය විවරණය කරයි. විවිධ ක්ෂේත්‍රයන් ගෙනහැර දක්වමින් ස්ත්‍රී භූමිකාව පිළිබඳව අවබෝධයක් ලබා දී ඇත. එමෙන්ම Simone de Beauvoirගේ The Second Sex කෘතිය තුළින්ද ස්ත්‍රියගේ නිදහස පිළිබඳව සාකච්ඡා කර ඇත. 1960 දශකයේදී ස්ත්‍රීන් උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූ කාල පරිච්ඡේදය වූ අතර එය ස්ත්‍රීවාදී චින්තනයේ ස්ත්‍රීවාදී ව්‍යාපාරවල වර්ධනයටද හේතු විය. ස්ත්‍රියගේ නිදහස පාදක කොට ගනිමින් කෘති රාශියක් රචනා විය. Kate Milletගේ "Sexual Politics" කෘතිය ස්ත්‍රී දේශපාලනික සවිඥානිකත්වය වර්ධනය වීමෙහිලා හේතු සාධක වී ඇත. 1970 දාශකයේදී ස්ත්‍රීවාදී කෘතීන්වල ප්‍රධාන අන්තර්ගතය බවට පත්වූයේ දේශපාලන ලිංගිකත්ව ගැටළු පිළිබඳවයි. නිදසුනක් ලෙස Germaine Greer විසින් ලියන ලද The Female Eunuch කෘතියෙහි පුරුෂාධිපත්‍ය ස්ත්‍රියගේ පෞද්ගලික ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකටම අසහනකාරී ලෙසින් බලපා ඇති බව පෙන්වා දුන්නේය. සදාතනික ස්ත්‍රීභාවය පිළිබඳ සංස්කෘතික මිථ්‍යාවෙන් ස්ත්‍රිය බැද තබා ඇත. මෙයින් ස්ත්‍රිය අකර්මණ්‍ය, යටහත්පහත්, ලිංගික සත්වයෙකි යන මතවාදය තහවුරු කර ඇත. ඒ නිසා ස්ත්‍රියගේ විමුක්තිය යනු පෞද්ගලික සහ ලිංගික විමුක්තිය සලසා ගැනීම යන මතය ඉදිරියට පැමිණියේය.ස්ත්‍රිවාදයේ දෙවන රැල්ල පිළිබඳ සාකච්ඡාවේදී පැහැදිලි වන්නේ එහි ප්‍රධාන අරමුණ හුදෙක් දේශපාලන අරමුණු අත්පත් කර ගැනීම පමණක් නොව සමස්ථයක් ලෙස ස්ත්‍රි නිදහස අත්පත් කර ගැනීමයි.

තෙවන රැල්ල 

ස්ත්‍රිවාදී දෙවන රැල්ල තුළ අත්පත් කර ගැනීමට උත්සහ කිරීමය. 1990 දශකයේ ආරම්භය සිදු වූ අතර ස්‍ත්‍රිවාදයේ දෙවන රැල්ලේ ඇති කරන ලද ව්‍යාපාර මුල පිරීම්වල පැවතුණ අසාර්ථක තත්ත්වන් මගහරවා ගැනීම මෙන්ම ස්ත්‍රිවාදී ව්‍යාපාර බටහිර රටවල් තුළ මෙන්ම තෙවැනි ලොව රටවල් තුළ විවිධ වූ ස්ත්‍රී අභිලාෂයන් සංතර්පණය කර ගැනීමට කටයුතු කළ කාලපරිච්ඡේදයක් ලෙස හඳුනාගත හැකිය. පොදුවේ ස්ත්‍රී නිදහස, විමුක්තිය, අයිතීන් දිනාගැනීම කෙරෙහි යොමු වී ඇත. ස්ත්‍රිවාදයේ තුන්වන රැල්ලේ විෂය පථය පුළුල් ස්වාභාවයක් ගනු ලබයි. ලෝකය පුරාම ස්ත්‍රිවාදී තුන්වන රැල්ලේ ක්‍රියාකාරිත්වය දක්නට ලැබුණි. 

මේ අනුව ස්ත්‍රීවාදයේ වර්ධනය පිළිබඳව විවිධ අවධීන් තුළ සිදු වූ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතරම ස්ත්‍රීවාදී චින්තනය රැලි ලෙස හැඳින්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවටද තර්ක කරයි.


Monday, 18 March 2024

බහුජාතික සමාගම්

 


බහුජාතික සමාගමක් යනුවෙන් අදහස් කරන්නේ එටවල් විශාල ප්‍රමාණයක පැතිර ඇති එක් මව් සමාගමක් සහ දේශසීමා ඉක්මවා ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර ජාලයකින් සමන්විත මහාපරිමාණ සමාගමකි. එසේත් නොමැතිනම් ඉහළ ආර්ථික හැකියාවක් ඇති රාජ්‍යයන් මව් සමාගම පිහිටුවාගෙන ලෝකයේ රාජ්‍යයන් ගණනාවක ආර්ථික කටයුතු සිදු කරන සමාගම්‍ ය. මෙම රාජ්‍යයන් බොහෝවිට බහු රාජ්‍යයේ මූලිකත්වයෙන් ආර්ථික කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි. මෙම බහුජාතික සමාගම්වල ක්‍රියාකාරිත්වය දෙස අවදානය යොමු කිරීමේදී හඳුනාගත හැකි ප්‍රධාන කාරණාවක් බවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමූහය බහුජාතික සමාගම් කෙරෙහි විශ්වාසය තැබීමට බලපාන ලද හේතු කාරණා කිහිපයකි. 

1. ආයෝජනය සඳහා අවශ්‍යවන ප්‍රාග්ධනය සපුරා ගැනීමේ අවශ්‍යතාවය. 

2. තාක්ෂණික සහය ලබා ගැනීමේ හැකියාව.

යන මූලික කරුණු ද්විත්වය කෙරෙහි මෙකී රටවල් විශ්වාසය තබාගෙන ඇත්තේ බහුජාතික සමාගම් හරහාය. මෙම අවශ්‍යතා ද්විත්වය සම්පූර්ණ කරමින් සහ සම්පූර්ණ වෙමින් පවතින රටවල ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් එම රටවල ආර්ථික වෘද්ධිය ඇතිකර ගැනීමට විශාල දායකත්වයක් ලබාදෙනු ලබන බවත්ය.බහුජාතික සමාගම් ක්‍රියාකාරිත්වය පිළිබඳ විමසා බැලීමේදී ඔවුන් ආයෝජනය සඳහා මුදල් උපයාගනු ලබන්නේ විදේශ වෙළදාම මගිනි. දැනට ලොවපුරා බහුජාතික සමාගම් 78000 වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. බහුජාතික සමාගම් සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වකීය ආයතන ස්ථාපිත කිරීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයකි. දියුණු රටවල වැටුප් ප්‍රමාණයන්ට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල වැටුප් ප්‍රමාණයන් ඉතා අඩුය. බහුජාතික සමාගම්වලට පක්ෂපාතී අදහස් ඉදිරිපත් කරන කණ්ඩායම් ප්‍රකාශ කරනු ලබන්නේ දියුණු වෙමින් පවතින රටවල් දියුණු කිරීම සඳහා බහුජාතික සමාගම් උපකාරී වන බවයි. නමුත් බහුජාතික සමාගමවල ක්‍රියාකාරිත්වය විමසා බැලීමේදී දියුණු වෙමින් පවතින රටවලට ඒ තරම් අවශ්‍ය නොවන කර්මාන්තයන්හි ලාභ ලැබීම අරමුණු කරගෙන ආයෝජනය කිරීම දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කොළොම්බියාවේ එක්තරා බහුජාතික සමාගමක් විසින් කානේෂන් මල් වැවීම දැක්විය හැකිය. බහුජාතික සමාගම් තමන් ආයෝජනය තුළින් විශාල ලාභ ප්‍රමාණයක් උපයන අතර අලුතින් ආයෝජනය කරනවාට වඩා එම ලාභ තම මව්රට වෙත ගෙනයනු ලැබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල දැඩි අවශ්‍යතවයන් වන නිවාස, ආරෝග්‍යශාලා, පාසල් ගොඩනැගිලි මෙන්ම අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා එම ලාභ යොදාගනු නොලබයි. නමුත් බහුජාතික සමාගම් තම මව්රට වෙත ලාභ, පොලී, හිමිකම් ගාස්තු හා තාක්ෂණික ගෙවීම් ආදී විශාල මුදල් ප්‍රමාණයක් මව්රට වෙත ගලා යෑමට සලස්වයි.

පසුගිය දශක හතරකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන බහුජාතික සමාගම් වල ක්‍රියාකාරිත්වය හරහා සංවර්ධනවෙමින් පවතින රටවල සිදුකරන ලද ආයෝජනවලදී අවශ්‍ය ප්‍රාග්ධනය මෙම බහුජාතික සමාගම් සංවර්ධිත රටවලින් ගෙනගොස් නොමැති බවය. ඒ වෙනුවට ආයෝජනය සඳහා අවශ්‍ය වූ ප්‍රාග්ධනය ලබාගෙන තිබුනේ ආයෝජන සඳහා ඉඩ ලබාදුන් සංවර්ධනය වෙමින් පැවති රටවල බැංකු සහ මූල්‍යමය ආයතන වලින් ලබාගත් ණය මුදල් පදනම් කරගෙනය. ආසියානු, අප්‍රිකනු සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන් පදනම් කරගෙන සිදුකරන ලද පර්යේෂණයකදී හෙළිදරව් වූයේ බහුජාතික සමාගම් ආයෝජන සඳහා අදාල රාජ්‍යයන්ට ගෙනැවිත් තිබුයේ ඔවුන් ආයෝජනය කරන ලද මුදල්වලින් 15% පමණ ප්‍රමාණයකි. ඉතිරි 85%ක් පමණ ප්‍රාග්ධන මුදල් අදාල රාජ්‍ය තුළ බැංකු සහ මූල්‍ය ආයතන මඟින් ලබාගෙන තිබුනි. එමෙන්ම කර්මාන්තශාලා නඩත්තු කිරීම හා සේවක වැටුප් වියදම් හැරුණු කොට මෙම බහුජාතික සමාගම් උපයාගනු ලැබූ ලාභවලින් 75%කට අධික ලාභ මුදල් ප්‍රමාණයක් තම මව්රටවලට යවා තිබුණි. මෙකී බහුජාතික සමාගම් සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමක් දක්නට නොලැබුණු අතර එකී ආයතන ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියත්මක වන ආකාරය හඳුනාගත හැකිය. ලෝකයේ ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. 

1. Microsoft Corporation 

2. General Electric 

3. Bank of America 

4. Coca-Cola Company 

5. Exxon Mobil

6. Royal Dutch Shell 

7. Toyota Motors 

8. Gulf Oil 

9. Unilevers 

10. McDonalds 

11. General Motors 

12. Ford Company 

13. Honda Motors Co.Ltd 

14. Pilips 

15. Sony Corporation 

16. Isuzu Motors Ltd 

17. Nokia Corporation 


ලෝක නිෂ්පාදනයෙන් 80%ක් පමණ පරිපාලනය කරන්නේ බහුජාතික සමාගම් විසිනි. ඉහත සඳහන් කල බහුජාතික සමාගම්වලින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේද ආයෝජන කටයුතු කර ඇත. Exxon සමාගමේ සේවය කරන පිරිස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවක පිරිස මෙන් තුන්ගුණයක් පමණ වේ. General Motors නැමැති බහුජාතික සමාගමේ වාර්ෂික දළ ආදායම ඉන්දුනීසියාව, තුර්කිය සහ යුගොස්ලොවියාව යන රාජ්‍යයන් තුනෙහි දළ ජාතික නිෂ්පාදනයට වඩා ඉහළ අගයක් ගනී. මෙවැනි හේතු කාරණා නිසාවෙන්බහුජාතික සමාගම් වල ශක්‍යතාව මනාව පැහැදිලිවේ. පසුගිය දශක කිහිපය තුළ කරන ලද පර්යේෂණවලට අනුව ලෝකයේ බහුජාතික සමාගම් 300ක් ලෝක නිෂ්පාදන වත්කම්වලින් 80%ක් හිමි කරගෙන ඇතිබව සොයාගෙන ඇත. මේ අනුව ලෝකයේ ක්‍රියාත්මකවන බහුජාතික සමාගම්වල ආර්ථික හැකියාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. වර්තමානය වන විට බහුජාතික සමාගම් සංවර්ධනය වෙමින් පවතින රටවල මහාපරිමාණ වශයෙන් ආයෝජන කටයුතු සිදුකර ඇති අතර එම රටවල තමන්ට හිතවත් නොවූ ආණ්ඩු පෙරලා දැමීමටද මෙම බහුජාතික සමාගම් කටයුතු කන්නේ යැයි චෝදනා එල්ල වී ඇත. උදාහරණ ලෙස,

1950 දශකය අවසානයේ දකුණු ඇමරිකාවේ බ්‍රිටිෂ්‍ යානා නම් රටෙහි මැතිවරණයෙන් බලයට පත්වූ මාක්ස්වාදී රජය ඇමරිකානු රජයේ යහපතට අහිතකර වේය යන අදහසින් එය බිද දැමීමට ඇමරිකාව රහසිගතව කටයුතු කිරීම. 

තමන් විසින් ආයෝජනය කර තිබූ ප්‍රාග්ධනය මෙන්ම තම භාණ්ඩ සඳහා ඇති වෙළඳපොළ ආරක්ෂිතව පවත්වාගෙන යාමට තමන්ට අවශ්‍ය ආකාරයේ වාසිදායක දේශපාලන පසුබිමක් නිර්මාණය කරවා ගැනීමට බහුජාතික සමාගම් මෙම රටවල රහසිගතව ක්‍රියාත්මක වී ඇති ආකාරය විශාල ලෙස හඳුනාගත හැකිය. ඒ සඳහා අල්ලස් ලබාදීම, අධාර දීම ඇතැම් අවස්ථාවන්හීදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ආදියෙන් තම වෙළඳපොළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දේශපාලන තත්ත්වයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ඇතිකරලීමට බහුජාතික සමාගම් විවිධ අවස්ථාවල උත්සහකර ඇති ආකාරය හඳුනාගත හැක. 

  • විවිධ රටවල තමන්ට හිතකර දේශපාලන තත්ත්වයන් පවත්වාගෙන යාමට විටින් විට United Brand නැමැති බහුජාතික සමාගම කටයුතු කිරීම. 
  • Amarican Northcote සමාගම විසින් ඉරාකය, බ්‍රසීලය සහ චිලී රට වැනි රටවල් 15ක ඇමරිකානු ඩොලර් තුන්කෝටියකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදීම මෙම නීති විරෝධී මුදල් වරක් ලබාදී තිබුනේ ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ රුස්ට්වෙල්ගේ මුනුපුරෙක් විසිනි. මැදපෙරදිග රටවල ගුවන්යානා මිලට ගැනීමේ ගනුදෙනුවක් සඳහා මෙම මුදල් ලබාදී තිබෙන බවට සඳහන් වේ. 
  • Gulf Oil Coperation නම් බහුජාතික සමාගම 1970 දශකයේදී දකුණු කොරියානු ආණ්ඩුවට අල්ලස් ලබාදී තමන්ට හිතකර දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරලීම උදෙසා අල්ලස් ලබාදීම.
  • ලෝකයේ විශාලතම තෙල් සමාගම වන එක්සෝන් සමාගම ඉතාලියේ වාමාංශික රජයක් බලයට පැමිණීම වැළැක්වීමට මුදල් වියදම් කිරීම. 

මෙවැනි කාරණාවලට අමතරව බහුජාතික සමාගම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලිවන තවත් කාරණාවක් වන්නේ බොහෝමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන පිළිබඳව හිමිකම් බහුජාතික සමාගම් විසින් හිමිකරගෙන ඇති බවය. ඉතියෝපියාව, කොලොම්බියාව වැනි රටවල අපනයන ද්‍රව්‍ය අතර ඇන්තූරියම්, කානේෂන් සහ උඩවැඩියා මල්වර්ග දක්නට ලැබේ. මෙම මල්වර්ග වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කරනු ලබන්නේ බහුජාතික සමාගම් විසිනි. බහුජාතික සමාගම් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ ආයෝජන සිදු කරනු ලබන්නේ විවිධ කොන්දේසිවලට යටත්වය. බදු සහන, බදු විරාම සහ ලාභ, ආනයන හා අපනයන බාධක පැමිණවීම ඉන් කිහිපයකි. මෙයට අමතරව බහුජාතික සමාගම් වල ක්‍රියාකාරිත්වය නිසාවෙන් දේශීය ව්‍යාපාර දුර්වල වීම, ශ්‍රම සූරාකෑම් හා අයිතිවාසිකම්වලට සීමා පැමිණවීම, අත්‍යවශ්‍ය නොවන අංශවල ආයෝජනය කිරීම හා පාරිභෝගික රුචිකත්වය වෙනස් කිරීම වැනි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීම හඳුනාගත හැකිය.

කෙසේ නමුත් නව යටත්විජිතවාදය සඳහා වන පදනම නව ලිබරල්වාදය මඟින් සපුරා ඇත. නව ලිබරල්වාදය යටතේ වූ ආර්ථික යාන්ත්‍රණයේ ප්‍රමුඛයා වී ඇත්තේ බහුජාතික සමාගම්ය. බහුජාතික සමාගම් ඉතා බලවත් වන අතර කවර භාණ්ඩ නිෂ්පාදනය කරනවාද, කවර ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනවාද, කුමන බෝග වර්ග වගා කරනවාද, කවර ප්‍රමාණයකින්, කුමන ප්‍රදේශවලද ඔවුහු තීරණය කරති. මේවායේ මිල මට්ටම් තීරණය කරන්නේ මෙම සමාගම් විසින්‍ ය. මෙම සන්දර්භය තුළ රාජ්‍යන්වල දේශීය ව්‍යාපාර විනාශවී යනු ඇත. මේ වනවිට බහුජාතික සමාගම් සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකම පාහේ ආධිපත්‍යය දරා ඇත. ආහාර පාන වර්ග ක්ෂේත්‍රයේ ඒකාධිකාරිත්වයක් පතුරුවා ඇති යුනිලීවර්, නෙස්ලේ, කොකාකෝලා,මැක්ඩොනල්ස්, පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මයික්‍රෝසොෆ්ට්, සන්නිවේදන ක්ෂේත්‍රයේ ආධිපතිත්වයක් අත්කරගෙන සිටින ගූගල් වැනි බහුජාතික සමාගම් වර්තමානය වන විට ලොවපුරා බලවත් වී ඇත.

Tuesday, 5 March 2024

ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාව


පුරාතන මූර්ති කලාව පිළිබඳව අධ්‍යනය කිරීමේදී අනෙකුත් මූර්ති සමඟ ගත්කල බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව පෙනේ. විශේෂයෙන්ම වර්තමාන බෞද්ධ සමාජය තුළ පවා ඉතා වැදගත් කැපී පෙනෙන සංකේතයක් ලෙසට බුද්ධ ප්‍රතිමාව හඳුනාගත හැකිවේ. සංස්කෘත බසින් "ප්‍රතිමා" ලෙසත් පාලියෙන් "පටිමා" ලෙසටත් සිංහල භාෂාවෙන් "පිළිම" යන නමින්ද හඳුන්වනු ලබයි. බුද්ධ ප්‍රතිමාව දෙස අවධානය යොමු කිරීමේදී ඇත්තෙන්ම එය එක්තරා අන්දමක සංකල්පීය රූපයකි. එම ප්‍රතිමා තුලින් නිරූපණය කරනු ලබන්නේ බුදුසසුනේ ශාස්තෘන් වහන්සේය.

මෙහිදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව අධ්‍යනය කිරීමේදී වර්තමානයේ පවා එම කරුණ පිළිබඳව ශාස්ත්‍රීය වාද විවාදයන් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත් අද වන තුරුම ඒ පිළිබඳ නිශ්චිත මතවාදයක් ගොඩනැගීමට හැකියාවක් ලැබී නොමැතිබව පෙනීයන කරුණකි. එහිදී ඇතැම් විචාරකයන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලාංකේය කලාකරුවන්ගේ දක්ෂතාවය මත ගොඩනැගුණු අගනා කලා නිර්මාණයක් ලෙසටය. එහෙත් තවත් සමහර විද්වතුන්ගේ මතවාදයන්ට අනුව ලාංකේය බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදාය ඉන්දියානු බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායේ ආභාසය මත ගොඩනැගූවක් බව මතයන් ඉදිරිපත් කර ඇත. මෙසේ බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය පිළිබඳව ලැබෙන යම් යම් තොරුතුරු පිළිබඳව අධ්‍යනය කිරීමේදී ලැබෙන එම සාධකයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කර ඉදිරිපත් කළ හැකිවේ. එනම් සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වී ඇති බවට තර්ක ඉදිරිපත් කරන විද්වතුන් සාහිත්‍යය මූලාශ්‍රගත තොරතුරු පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වන බව හඳුනාගත හැකිවේ. ටී.ඩී. දේවේන්ද්‍ර, නන්දදේව විජේසේකර, ආචාර්ය සිරී ගුණසිංහ, කඹුරුපිටියේ වනරතන හිමි ආදී විද්වතුන් විසින් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ශ්‍රී ලංකාවේ සිදු වූ බවට විවිධ තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙසේ එම විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද තොරුතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ තොරතුරු ක්‍රි.පූ. 3වන සියවස දක්වා ඈත අතීතයකට දිවයන බවට කරුණු හඳුනාගත හැකිවේ. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ (ක්‍රි.පූ. 247-207) එනම් ක්‍රි.පූ. තෙවන සියවසේ ශ්‍රී ලංකාවේ බුදු පිළිම නිර්මාණය ඇරඹුණු බව සාහිත්‍ය මූලාශ්‍ර සඳහන් කරයි. දෙවන පෑතිස්ස රජු විසින් ථූපාරාමයේ පිහිටුවන ලද ශෛලමය බුදු පිළිමය පළමුවන ජේට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 263-274) විසින් ථූපාරාමයෙන් ඉවත් කරවා පාචීන තිස්ස පබ්බත විහාරයෙහි තැන්පත් කරන ලද බව මහාවංශය තුළ සඳහන් වේ. 

දුටුගැමුණු රජුගේ රාජ්‍ය සමයේදී (ක්‍රි.පූ. 161-137) ඔහු විසින් කරවන ලද රුවන්වැලි මහා සෑ ගර්භයේ රුවන්මය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බව මහාවංශය තුළ සඳහන් කර ඇත. ක්‍රි.ව. 10වන සියවස වනවිට රුවන්වැලි මහා සෑයේ නිධන්කළ බුදු පිළිමය පිළිබඳ තොරතුරු වංසත්ථප්පකාසිනියේ දැක්වේ.  

තවද මහාවංශය තුළ දැක්වෙන පරිදි වසභ රජුගේ රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 66-109) බුදු පිළිම හතරක් කරවූ බවත් ඒවාට පිළිම ගෙවල්ද තනවා දුන් බවත් සඳහන් වේ. මෙම සමය තුළ ඉන්දියාවෙන්ද ලෝකයේ ප්‍රථම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය සිදු විය. වසභ රාජ්‍ය සමයට සමකාලීනව ඉන්දියාවේ කනිෂ්ක රජු (ක්‍රි.පූ. 78-101) විසින් නිකුත් කරන ලද රන් කාසියක මුද්‍රිත ලොව ප්‍රථම බුදු පිළිමය පිළිබඳව සාක්ෂි ලැබෙන බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබයි.

බුද්ධ ප්‍රතිමා නිර්මාණය මෙරට පහසුවෙන්ම ඇරඹෙන්නට හේතුවක් වන්නට ඇත්තේ එවකට පැවති සංකේත වන්දනයයි. කෙසේවෙතත් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ලංකාවේ සිදු වූ බවට සාහිත්‍යමය වශයෙන් ලැබෙන සාධක බහුල වුවත් එම සාහිත්‍ය කෘතීන්ගේ පශ්චාත් කාලීනභාවය නිසාම බොහෝ විචාරකයන් එම සාධකවල නිරවද්‍යතාවය පිළිගැනීමට මැලිබවක් දක්වනු ලබයි. නමුත් ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වූ පරණවිතාන මහතා සහ කලා ශිල්ප පිළිබඳ විධිමත් විචාරයන් ඉදිරිපත් කරන ලද ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වී ඇත්තේ බුද්ධ ප්‍රතිමා කලාව ඉන්දියාවෙන් උකහා ගන්නා ලද කලාවක් බවය. ඒ අනුව ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳව අධ්‍යනය කිරීමේදී හමුවන පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ. 1වන සියවස අගදී හෝ ක්‍රි.ව. 1වන සියවස මුලට දිවයනබව හඳුනාගත හැකිවේ. බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය ඉන්දියාවේදී සිදුවී පසුව එම නිර්මාණ කෞෂල්‍යය ලංකාවට ලැබුණුබව දක්වන ලද පරණවිතාන මහතා හා කුමාරස්වාමි මහතා පෙන්වාදෙන තොරතුරු වලට අනුව ලංකාවේ පැරණි අවධියට අයත්ව නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමාවන්හි කල නිර්ණය ක්‍රි.ව. 3-5 සියවස් අතර කාලයට අයත් වනබව පෙනේ. විශේෂයෙන්ම ඉන්දියාවේ ගොඩනැගුණු මථුරා, ගන්ධාර, අමරාවතී ආදී කලා සම්ප්‍රදායන්හි ආභාසය ලක්දිව ප්‍රතිමා නිර්මාණයේදී බෙහෙවින් බලපා ඇත. අනුරාධපුර අග්‍රගන්‍ය බුද්ධ ප්‍රතිමාවක් ලෙසින් හඳුන්වනු ලබන අවුකන හිටි බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේදීත් අමරාවතී කලා සම්ප්‍රදාය තදින්ම බලපා තිබේ. එසේම අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් සොයාගත් අඩි 06ක් පමණ උසැති කිරිගරුඬ ප්‍රතිමාවේ දක්නට ලැබෙන ආන්ද්‍ර ශිල්පීය ලක්ෂණ හුවාදක්වමින් පරණවිතාන මහතා තම අදහස සනාථ කිරීමට උත්සහ දරයි. ආචාර්ය බෙන්ජමින් රෝලන්ඩ් මහතාද පරණවිතානයන්ගේ අදහස සනාථ කරමින් රුවන්වැලි සෑ බිමෙහි ආන්ද්‍ර ලක්ෂණ පෙන්වන බුද්ධ ප්‍රතිමාවන් ගෙනහැර දක්වමින් ස්වකීය අදහස සනාථ කරයි. මීට අමතරව තවත් සමහර විද්වතුන් ප්‍රකාශ කරන්නේ බුදු දහම ලක්දිවට පැමිණි මුල් කාලයේ බුදු පිළිම නිර්මාණය ඇරඹුණු බවයි. ඒ අනුව සමස්ථ සාධකයන් පිළිබඳව අධ්‍යනය කිරීමේදී සාහිත්‍යය මූලශ්‍ර තොරතුරු මඟින් බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවය සම්බන්ධ ගෞරවය ලංකාවට ලබාදීමට උත්සහ ගත්තද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව පුළුල්ව සහ සියුම්ව අධ්‍යනය කිරීමේදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවයෙහි මූලයන් භාරතය දෙසට දිවයන බව දැකගත හැකිය.

Thursday, 29 February 2024

බලතල බෙදීමේ න්‍යාය

 


රාජ්‍යයේ බලය හෙවත් ස්වාධිපති බලය ක්‍රියාත්මක කරන උපකරණය වන්නේ ආණ්ඩුවයි. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණය යනුවෙන් ආණ්ඩුව සතු බලතල තුනක් වේ. ව්‍යවස්ථාදායකය යනු නීති සම්පාදනයයි. විධායකය යනු නීති විධානයයි. අධිකරණය යනු විනිශ්චයයි. ආණ්ඩුව සතු බලතල ක්‍රියාත්මක කරන ආයතන පද්ධතිය වන්නේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණයයි. ආණ්ඩුව සමන්විත වන්නේ එම ආයතන පද්ධතියෙන්‍ ය. බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් වී තිබෙන්නේ ආණ්ඩුවේ බලතල මූලික කරගෙනය. ආණ්ඩුවේ බලතල පිළිබඳව ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. ඉන්පසු කාලයේ දී රෝම චින්තකයෙකු වූ පොලිබියස් විසින්ද රෝම සමූහාණ්ඩුවේ බලතල විග්‍රහ කරනු ලැබීය. එහෙත් බලතල බෙදීමේ සිද්ධාන්තය නූතන න්‍යායක් වශයෙන් ඉදිරිපත් වූයේ නූතන රාජ්‍ය බිහිවූ මුල් අවධියේ ආඥාදායක පාලන ක්‍රමයට එරෙහිවය. 

නූතන රාජ්‍ය නිර්මාණය වූ මුල් අවධියේ දී යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රම ක්‍රියාත්මක විය. එම ඒකාධිපති රාජාණ්ඩුවල බලතල සංකේන්ද්‍රණය වී පැවතුනි. එනම් ආණ්ඩුවේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ ත්‍රිවිධ බලතල රාජාණ්ඩුව වටා සංකේන්ද්‍රණය වී පැවතිණේය. එහෙයින් රාජාණ්ඩුව ඒකාධිපති විය. ආණ්ඩුවේ මෙම ත්‍රිවිධ බලතල තනි පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමෙන් හෙවත් රජු විසින් ක්‍රියාත්මක කරනු ලැබීමෙන් ආඥාදායක පාලනයක් නිර්මාණය විය. එම ආඥාදායක පාලනයේ සෘජු ප්‍රතිඵලය වූයේ සමාජයේ මිනිස් නිදහස සහ අයිතිවාසිකම් අහෝසි වීමයි. 17වන ශතවර්ෂයේ අගභාගයේ පටන් යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩුවාදයට එරෙහිව නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතවාදය පැතිර ගිය අතර බලතල බෙදීම පිළිබඳ දේශපාලන සංකල්පය සහ එම සංකල්පය මුල්කරගත් බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් වූයේ ඒකාධිපති රාජාණ්ඩුවට එරෙහිව නූතන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අවශ්‍යතාවයෙනි. 

ආණ්ඩුවේ බලතල සහ ඒකාධිපති පාලනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතී. එනම් ආණ්ඩුවේ බලතල ඒකාග්‍ර වූ විට හෙවත් ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බලතල තනි පුද්ගලයෙකු වෙත සංකේන්ද්‍රගත වූ විට ඒකාධිපති පාලනයක් නිර්මාණය වේ. එහෙයින් ආණ්ඩුවේ බලතල පංගු කළවිට හෙවත් බෙදා වෙන්කළ විට ඒකාධිපති පාලනය අහෝසිවේ. මේ ආකාරයෙන් ආණ්ඩුවේ බලතල ඒකාධිපතිත්වය අතර නිශ්චිත සම්බන්ධයක් පවතී.සමාජයේ නිදහස තහවුරු කිරීම සඳහා ඒකාධිපති පාලනය අහෝසි කල යුතු බවත්, ඒකාධිපති පාලනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවේ බලතල බෙදිය යුතු බවත් නූතන යුගය ආරම්භක වකවානුවේදී ප්‍රථමවතාවට ප්‍රකාශ කලේ ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයෙකු වූ ජෝන් ලොක්‍ විසිනි. 1688 ඉංග්‍රීසි විප්ලවය කෙරෙහි බලපෑ දේශපාලන අදහස් ඉදිරිපත් කල පුරෝගාමී චින්තකයා වූයේ ජෝන් ලොක් ය. සමාජයේ මිනිස් නිදහස සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා රජු සතුව පැවති විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බලතල බෙදා වෙන් කිරීම පිළිබඳ මතය සංකල්පයක් වශයෙන් ජෝන් ලොක් ඉදිරිපත් කළේය. එහෙත් ඔහු එම මතය න්‍යායක් වශයෙන් ඉදිරිපත් කලේ නැත. ආණ්ඩුවේ බලතල බෙදා වෙන් කිරීම න්‍යායාත්මක වශයෙන් ප්‍රථමවතාවට ඉදිරිපත් කරනු ප්‍රංශ පුනරුදයේ චින්තකයෙකු වූ මොන්ටෙස්ක්‍යු විසිනි. ඔහු 1748 දී පල කරන ලද "නීතියේ සාරය" (Spirit of Law) නැමැති ග්‍රන්ථය ඇසුරින් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන ලදී. නීතියේ සාරය නැමැති ග්‍රන්ථයේ 11 වන ඛාණ්ඩය මඟින් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය පිළිබඳව කරන ලද විග්‍රහය ඇසුරින් මොන්ටෙස්ක්‍යු බලතල බෙදීමේ සිද්ධාන්තය ඉදිරිපත් කර තිබේ.

සමාජයේ මිනිස් නිදහස අහෝසි වී පාලනයේ අකාර්යක්ෂමතාවය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය ආණ්ඩුවේ බලතල ඒකාග්‍ර වී තිබීම බව මොන්ටෙස්ක්‍යු විසින් පෙන්වා දෙනු ලැබීය. ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල බෙදා වෙන් කිරීමෙන් ඒකාධිපතිත්වය අහෝසි වී මිනිස් නිදහස ආරක්ෂා වන බවත් කාර්යක්ෂම පාලනයක් ඇති කළ හැකි බවත් මොහු දක්වන ලදී. 

සමාජයේ මිනිස් නිදහස හා ආණ්ඩුවේ බලතල අතර පවතින සම්බන්ධතාව පිළිබඳ ආදර්ශය වශයෙන් මොන්ටෙස්ක්‍යු හඳුනාගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයයි. ඒ අනුව 1735දී මොන්ටෙස්ක්‍යු බ්‍රිතාන්‍ය සංචාරයක යෙදුනේ යථෝක්ත තත්ත්වය පිළිබඳව ගවේෂණය කිරීම සඳහාය. මේ කාලය වෙන විට බ්‍රිතාන්‍යයේ කැබිනට් ක්‍රමය ආරම්භ වී පැවති අතර අගමැති ධුරය හෙබවූයේ සර් රොබට් වෝල්පෝල් (Robert Walpole)ය. මොහු බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරයා ය. බ්‍රිතාන්‍ය වෙත පැමිණි මොන්ටෙස්ක්‍යු එරට ආණ්ඩුවේ ස්වාභාවය පිලිබඳ අධ්‍යාපනය කරනු ලැබීය. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන ආයතන පද්ධතිය හෙවත් පිළිවෙළින් පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය හා ප්‍රිවී කවුන්සිලය ප්‍රමුඛ අනෙකුත් අධිකරණ ආයතන වෙන් වෙන්ව රැස් වූ හෙයින් මොන්ටෙස්ක්‍යු අවබෝධ කර ගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය බලතල බෙදූ ආණ්ඩුක්‍රමයක් ලෙසය. බ්‍රිතාන්‍යයේ මිනිස් නිදහස තහවුරු වී ඇත්තේ මෙම ආණ්ඩුක්‍රමයෙහි බලතල බෙදීම හේතුකොටගෙන බව මොන්ටෙස්ක්‍යුගේ අවබෝධය වූයේය. එහෙයින් ප්‍රංශ දේශපාලන සමාජයේ මිනිස් නිදහස තහවුරු වීමට නම් ආණ්ඩුවේ බලතල බෙදා වෙන් කළයුතු බව මොන්ටෙස්ක්‍යුගේ අදහස විය. 

දෙවනුව පාලනය කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහා ආණ්ඩුවේ බලතල බෙදා වෙන්කළ යුතුය යන මතය මොන්ටෙස්ක්‍යු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂ ප්‍රාගුණ්‍යය පිළිබඳ සංකල්පය ආදර්ශයට ගනිමින්‍ ය. විශේෂ ප්‍රාගුණ්‍යය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනවල කාර්යක්ෂමතාවයයි. එම කාර්යක්ෂමතාවය ඇති වන්නේ ශ්‍රම විභජනය තුළින්‍ ය. එහෙයින් ශ්‍රම විභජනය මඟින් විශේෂ ප්‍රාගුණ්‍යය ඇති වන්නා සේ ආණ්ඩුවේ බලතල බෙදීම තුළින් පාලනයේ කාර්යක්ෂමතාවය ඇතිවන බව මොන්ටෙස්ක්‍යුගේ මතය විය. 

මොන්ටෙස්ක්‍යු ඉදිරිපත් කළ බලතල බෙදීමේ න්‍යාය මඟින් ආණ්ඩුවේ බලතල බෙදීම ව්‍යුහාත්මකව හා කාර්යාත්මකව සිදුකළ යුතු බව දක්වනු ලැබේ. ව්‍යුහාත්මක යනු ආයතනික ආකාරයෙන් බලතල බෙදීමය. කාර්යාත්මක යනු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ආයතනවල කාර්යයන් අනුව බලතල බෙදීමයි. 

ආණ්ඩුවේ බලතල ව්‍යුහාත්මකව බෙදීම යනු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය යනුවෙන් ආයතන තුනක් පිහිටුවා එම ආයතන එකිනෙකින් ස්වාධීන කිරීමය. එසේ එම ආයතන එකිනෙකින් ස්වාධීන වන්නේ එක් ආයතනයක සාමාජිකයින් අනෙක් ආයතනයක සාමාජිකයින් නොවන විටය. මේ අනුව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන ආයතනවල සාමාජිකයින් ආයතන මට්ටමින් අදාල ආයතනයට පමණක් සීමා වූ සාමාජිකයින් වීමෙන් ව්‍යුහාත්මකව එම ආයතන වෙන්වීම හා ස්වාධීන වීම සිදුවේ. 

දෙවනුව ආණ්ඩුවේ බලතල කාර්යාත්මකව බෙදීම යනු ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ යන ආයතන තුන වෙත එකිනෙකින් වෙන් වූ කාර්යන් පැවරීමය. මේ අනුව නීති සම්පාදන කාර්යය ව්‍යවස්ථාදායකය වෙතද, නීති ක්‍රියාත්මක කිරීමේ කාර්යය විධායක වෙතද, විනිශ්චය කිරීමේ කාර්යය අධිකරණය වෙතද වෙන් වෙන් වශයෙන් පැවරිය යුතුය. එහිදී එක් ආයතනයක කාර්යයක් අනෙක් ආයතනයට ක්‍රියාත්මක කළ නොහැකිය. 

ඉහත දැක්වූ ආකාරයෙන් මොන්ටෙස්ක්‍යු විසින් ආණ්ඩුවේ බලතල බෙදිය යුතු ආකාරය න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලදී. එම න්‍යාය ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ නූතන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පැවති වකවානුවේදීය. එමෙන්ම එය කාර්මික ශිෂ්ටාචාරයෙහි මුල් වකවානුවද විය. මේ කාලයේදි තාක්ෂණය දියුණු මට්ටමක නොපැවති හෙයින් රාජ්‍ය අභ්‍යන්තර කටයුතු මෙන්ම රාජ්‍යයේ බාහිර කටයුතුද සංකිර්ණ තත්ත්වයක පැවතුණේ නැත. එමෙන්ම මෙම කාලයේදී නූතන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පැවති බැවින් දේශපාලන පක්ෂ බිහිවී තිබුණේද නැත. එහෙයින් නූතන ප්‍රජාතන්ත්‍රවාදය පැතිරුණු මුල් කාලයේ සමාජයේ මිනිස් නිදහස තහවුරු කිරීම සඳහාත්, පාලනයේ කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහාත් ආණ්ඩුවේ බලතල බෙදීම නැමැති ක්‍රියාමාර්ගය භාවිතයට ගතහැකි විය. 1789දී ක්‍රියාත්මක වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පදනම වශයෙන් මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීමේ න්‍යාය උපයෝගී කරගනු ලැබූවේ එවකට එම න්‍යායෙහි පැවති වලංගුභාවය හේතුකොට ගෙනය.

Wednesday, 28 February 2024

සන්නිවේදන නිර්වචන

 


සන්නිවේදනය යනුවෙන් අදහස් කරනුයේ තොරතුරු හුවමාරුවයි. මෙම සන්නිවේදනය සඳහා මූලික අවබෝධයක් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති නිර්වචන අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත් වේ. එබැවින් සන්නිවේදනය යනු කුමක්ද යන්න හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබල එක උපක්‍රමයක් වශයෙන් මෙම නිර්වචන හඳුනාගත හැකි වේ. සන්නිවේදනය පිළිබඳ නිර්වචන විවිධාකාරයෙන් විවිධ විද්වතුන්, සංවිධාන විසින් ඉදිරිපත් කර ඇත. ඒවා එකිනෙකට වෙනස් වුවද ඒවායේ පොදු සාධකයන් එනම් සන්නිවේදකයා, සංදේශ, ග්‍රාහකයා, බලපෑම, මූලාශ්‍ර වැනි සාධක සමානාත්මතාවක් පෙන්නුම් කරයි. මෙසේ සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනාගත හැකිවේ. 


විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය 

වර්ෂ 1907 අගෝස්තු 05වන දින ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් සන්නිවේදනයේ පුරෝගාමී විද්වතෙකි. සන්නිවේදනයේ පියා වන්නේද මොහුය. 1954 වර්ෂයේ මොහු විසින් සන්නිවේදනය පිළිබඳ නිර්වචන ඉදිරිපත්කොට ඇත. සන්නිවේදනය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුව සන්නිවේදනය පිළිබඳ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හඳුනාගත හැකිය. 

"තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණකොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වාභාවයක් ඇතිවීම සන්නිවේදනයයි."


හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය 

වර්ෂ 1902 පෙබරවාරි 13වන දින උපත ලැබූ හැරල්ඩ් ඩී ලැස්වෙල් මහතා දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයෙකු ලෙස සිටිමින් සන්නිවේදනය විෂය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙවරක් කළ විද්වතෙකි. මොහු විසින් සන්නිවේදනය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇත. මොහු දේශපාලන විද්‍යාඥයෙකු වන බැවින් මොහු විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය ද දේශපාලනික ප්‍රවේශයක හුරුවක් ගනී. 

"යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින්, යම් කිසිවෙකුට, කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි."


ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර්ගේ නිර්වචනය 

ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් යන දෙදෙනාට ඇමරිකාවේ බෙල් ටෙලිෆෝන් රසායනාගාරයේ සේවය කළේය. ෂැනොන් විද්‍යාඥයෙකු වන අතර වීවර් සහයකයෙකි. දුරකතන හා ගුවන්විදුලි තාක්ෂණය පිළිබඳව මෙම දෙපළ වැඩි අවධානයක් යොමු කළහ. ඔවුන් දෙදෙනා නියැලුණු දුරකථන ක්ෂේත්‍රය පදනම් කරගෙන ඔවුන් විසින් තම නිර්වචනය 1954දී ඉදිපත් කර ඇත. 

"සන්නිවේදනය යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි."


චාල්ස් එච්. කූලිගේ නිර්වචනය 

චාල්ස් කූලි යනු සමාජ විද්‍යාඥයෙක් වන අතර ඔහු ප්‍රධාන ලෙස පුද්ගල සමාජානුයෝජනය පිළිබඳ පර්යේෂන කටයුතුවල නිරත වූවෙකි. මානව සබඳතා පවත්වා ගැනීම හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය සන්නිවේදනයබව පෙන්වා දී තිබේ.

"මානව සබඳතා රඳවා සිටින්නාවූත්, වර්ධනය කරන්නාවූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරීවන උපක්‍රම සන්නිවේදනයයි."


"සංස්කෘතිය සන්නිවේදනයයි. සන්නිවේදනය සංස්කෘතියයි."    - රේමන්ඩ් විලියම්ස් - 


"අදහස් ගෙනයන කලාව සන්නිවේදනයයි."                                                    -එඩ්වින් එමරි-


"පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ කෙනෙකුගෙන් කෙනෙකුට හෝ ස්ථානයකින් ස්ථානයකට තොරතුරු ගලායාම සන්නිවේදනයයි."  -කෝලියර්ගේ විශ්වකෝෂය-


"අදහස්, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුව්මාරු කරගැනීම සන්නිවේදනයයි."      -ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය- 

Wednesday, 7 February 2024

ශ්‍රී ලාංකේය සිනමාවේ ඓතිහාසික යුගය

 


අතීතය දෙස බලන විට පෙනී යන්නේ අවුරුදු 96ක් වයසැති ලක් සිනමා පුරාණය චලන චිත්‍රයක් මෙන් විචිත්‍ර බවයි. සිංහල සිනමාවේ ආරම්භය සේ සැලකෙනුයේ 1947 ජනවාරි 21 වන දා වුවත් ලාංකීය සිනමා කර්මාන්තයේ ආරම්භය හා ව්‍යාප්තිය ඊට වඩා බෙහෙවින් පැරණිය. සිනමාව නම් මාධ්‍ය බිහි වූයේද ව්‍යාප්ත වූයේද ව්‍යාපාරික පදනමක් මත විනා කලාවක ස්වරූපයෙන් නොවේ බොහෝවිට එහි පැවැත්ම ඇත්තේද එම ස්වරූපයෙන්මය. ලෝකයේ ප්‍රථම චිත්‍රපටය තිරගත වීමත්, මෙරට ප්‍රථම චිත්‍රපටය තිරගත වීමත් අතර කාලය පස් වසරකට වඩා ගත නොවේ. සිනමාව ලෝක ව්‍යාප්ත වීම කෙතරම් ශීඝ්‍රයෙන් සිදුවිණි ද යන්න එකල පැවති තත්ත්වය සලකා බැලීමේදී පැහැදිලි වේ. 

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම නිහඬ චිත්‍රපට පෙන්වන ලද්දේ සර් වෙස්ට් රිච්වේ ලංකාණ්ඩුකාරතුමාගේ කාලය වූ 1901 දී බව පෙනී යයි. ඒ අවධිය තුළ මෙරට චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කිරීමේ ගෞරවය හිමි වන්නේ A.W. ඇන්ඩෲ නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පියෙකුටය. ඔහු විසින් මෙරටට ගෙන්වන ලද එම නිහඬ චිත්‍රපට දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට වසර දෙකක් යන තෙක්ම අහිමි වී තිබුණි. මීට හේතු වූයේ එම චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද්දේ එදා එංගලන්තයත් අප්‍රිකාවේ බෝයර් ජාතීනුත් අතර ඇති වූ යුද්ධයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හසුව මෙරටට ගෙනවිත් දියතලා කඳවුරුවල රඳවා සිටි බෝයර් සිරකරුවන් විනෝද කිරීමට පමණක් සීමා වූ නිසාය. නමුත් සමහර පුවත් මඟින් ඉදිරිපත් කරනුයේ ආරාධිත බ්‍රිතාන්‍ය ජාතිකයන් සුළු පිරිසකටත්, ඉංග්‍රීසි උගත් ඉතා සීමිත ලාංකික පිරිසකටත් සිනමා ප්‍රදර්ශනයක් පැවැත් වූ බවයි. වාර්ථා චිත්‍රපට තුනක් ඇතුලත් මෙම ප්‍රදර්ශනය A.W. ඇන්ඩෲගේ මෙහෙයවීම යටතේ කොටුවේ චැතැම් වීදියේ පැගෝඩා හෝල් ගොඩනැගිල්ලේ උඩුමහලේ පවත්වා ඇති බව කියවේ. "දිනපතා ප්‍රවෘත්ති" නැමැති පුවත්පතේ සඳහන් වන පරිදි 1898 දී සිනමා දර්ශන පැවැත් වූ බවක්ද සොයාගත හැකිය. එහිදී යුනියන් පෙදෙස් පබ්ලික් හෝල් හි සිනමැටික් නැමැති යන්ත්‍රයකින් වාර්ථා චිත්‍රපට දෙකක් පෙන්වූ බව ඉන් පැවසේ. එනම් ග්‍රීක තුර්කි යුද්ධය හා ක්‍රිකට් ක්‍රීඩකයෝ නම් චිත්‍රපට ද්විත්වයයි. 

කෙසේ වුවද ඉන් අනතුරුව 1903 දී මෙරට සිනමා කර්මාන්තය ආරම්භ කිරීමේ ගෞරවය ලබා ගනුයේ ද ඇන්ඩෲ ය. ඒ කොරික් බයිස්කෝප් සමාගම පිහිටු වීමෙනි. එය මෙරට ප්‍රථම සිනමා සමාගම බවට පත් විය. එමගින් 1903 සිට 1910 දක්වා කොළඹ කොටුවේ පැගෝඩා ශාලාවේ වාර්ථා හා තොරතුරු චිත්‍රපට පෙන්වන ලදී. ප්‍රථමයෙන් බ්‍රිස්ටල් හෝටලයේ පළමුවන මහළේ ශාලාවක බයිස්කෝප් දර්ශන පෙන්වූ මොහු පසුව වත්මන් පැගෝඩා හෝටලය පිහිටි භූමි භාගයේ සිය ප්‍රථම සිනමාහල ඉදි කලේය. නමුත් 1910 ඇන්ඩෲ මිය යාමත් සමඟ කොරික් බයිස්කෝප් සමාගම වැසී ගියේය. 

C.වැන්ගර් මෙරටට පැමිණීමත් සමඟ මෙරට සිනමා ව්‍යාපාරයේ දෙවැනි පරපුර ආරම්භ විය. ඔහුගේ සිනමා ශාලාව පිහිටියේ කොළඹ ලෝටස් පාරේ චාමස් ධාන්‍යාගාර භූමියේය. වැන්ගර් මෙරට මුල්ම චිත්‍රපට බෙදාහරින්නාද වේ. මොහු බොහෝවිට චිත්‍රපට ලබා ගත්තේ ඉන්දියාව හරහාය. ඔහුගේ ඔලිම්පියා චිත්‍රපට සමාගම ප්‍රදර්ශනය ආරම්භ කලේ 1911 පෙබරවාරි මාසයේය. මොවුන් සියල්ලන්ටම පසුව ලංකාවට පැමිණි චිත්‍රපට ප්‍රදර්ශක වොරික් මේජර් විසින් 1911 අප්‍රේල් 8වනදා මල්වත්ත පාරේ සිනමා ප්‍රදර්ශනය සඳහාම වෙන් කෙරුණු මුල්ම ශාලාව ගොඩනැගීය. එය එම්පයර් පික්චර් පැලස් යනුවෙන් හැදින්වුණි. 

1924දී මෙරට සිනමා ව්‍යාපාරයේ කැපී පෙනුන ව්‍යාපාරිකයෙකු වූ T.A.J. නුරාබායි විසින්ද ඊස්ටන් සමාගම අරඹන ලද අතර වැල්ලවත්තේ ඔලිම්පියා සිනමාහල ද ආරම්භ කර ලදී. 1928දී සිලෝන් තියටර්ස් සමාගම ආරම්භ කිරීම සඳහාද මොහු විසින් දායකත්වය දක්වන ලදී. පසුව 1938දී මොහු මියගිය අතර 1913දී මෙරට ප්‍රථම වරට ස්ථීර සිනමාහල් ගොඩනැගිල්ලක් J.F. මදාන් නැමැති පුද්ගලයා විසින් විවෘත කරන ලදී. එනම් කොළඹ ඉබ්බන්වල පිහිටි පබ්ලික් හෝල් සිනමාහළයි. එනම් වත්මන් එම්පයර් සිනමාහලයි. මීට අමතරව පැලස් හා එම්පයර් යන නමින් තවත් සිනමාහල් ඔවුන් සතු විය. 

සෙනෙවිරත්න මෙරට චිත්‍රපට කර්මාන්තයට එක් වූ ප්‍රථම සිංහල ව්‍යාපාරිකයා විය. ඔහු චිත්‍රපට ලබා ගත්තේ මදාන් සමාගමෙනී. එහෙත් සිය ව්‍යාපාර දිගටම කරගෙන යෑමට ඔහුට නොහැකි විය. පසුව එවකට යාපනයේ ගුරුවරයෙකුව සිටි චින්තම්පලම් ඒබ්‍රහම් ගාඩ්නර් සිනමා ව්‍යාපාරයට එක් විය. ගාඩ්නර් චිත්‍රපට කලාව කෙරෙහි ඇලුම් කල අයෙකි. ඔහු A.L. තම්බයියා සමඟ හවුල් වී මේ ව්‍යාපාරයට එක් විය. අනතුරුව 1928 දී ගාඩ්නර්, T.A.J. නූර්බායිගේ දායකත්වය ඇතිව ඇල්ෆ්‍රඩ් තම්බයියා සහයක ලෙසද සවරිමුත්තු සාමාන්‍යාධිකාරී ලෙසද යොදාගෙන සීමා සහිත සිලෝන් තියටර්ස් සමාගම ආරම්භ කලේය

 මේ වන විට දිවයිනේ ප්‍රධාන නගර පුරා කූඩාරම් සිනමාහල් රැසක් තිබුණි. මේ අතරින් ඉම්පිරියල් ටෝකීස් ප්‍රධාන විය. 1929දී මදාන් සමාගම මැලඩ් ලව් නම් කතානාද චිත්‍රපටය ප්‍රථමවරට එම්පයර් සිනමාහලේ ප්‍රදර්ශනය කලේය. මෙරට කතානාද චිත්‍රපට යුගය ඇරඹුණේ මෙමඟිනි. චිත්‍රපට කතා කිරීම ඇරඹීමත් සමඟ භාෂා භේදය ඉස්මතුව ආයේය. මෙරට තිරගත කල ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය බිල්වා මංගල් වූයේය. මෙය මදාන් සමාගමේ නිෂ්පාදනයකි. ඉන් අනතුරුව ටවර් හෝල් සංගීතඥයෙකු වූ W.දොන් ඇඩ්වර්ඩ් නිපදවා අධ්‍යක්ෂණය කල රීල් තුනකින් යුත් පළිගැනීම නම් චිත්‍රපටය 1936 මැයි 19වනදා කොළඹ ගෙයිට් සිනමාහලේ තිරගත විය. එය මෙරට තිරගත වූ ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපට විය. නමුත් මේ සියලුදෙනාටම වඩා ප්‍රථම සිංහල චිත්‍රපටය පිළිබඳ සිහිනය සැබෑ කලේ ස්වාධීන නිෂ්පාදකවරයකු වූ S.M. නායගම් විසින්‍ ය.

Monday, 5 February 2024

නව යටත්විජිතවාදය


 දෙවන ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් පිරිහීමට පත්වත්ම ඔවුන්ට අහිමිව ගිය යටත් විජිතයන්හි සිය බලය තව දුරටත් රදවා ගැනීමේ විකල්පයක් ලෙස නව යටත් විජිතවාදය බිහි විය. තවත් ආකාරයකට කිවහොත් නව යටත්විජිතවාදය යනු යටත්විජිතවාදයේ නවීකරණය වූ ස්වරූපයයි. යටත්විජිතවාදය තුළ දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණය වූයේ අධිරාජ්‍යවාදී රටවල් විසින් අනෙකුත් යටත් රාජ්‍යයන් දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද යටත් කරගෙන පාලන කටයුතු පවත්වාගෙන යාමයි. අධිරාජ්‍යවාදී බලවතුන් යටත් විජිතයන්හි ආර්ථිකය වර්ධනය කර තිබුනේත්, ගොඩනගා තිබුනේත් අධිරාජ්‍යවාදී රටවල මව් ආර්ථිකය ගෙනයාමට උදව් කරගත හැකි ආර්ථිකයක් ලෙසිනි. මෙහි ප්‍රතිඵලය වූයේ දේශපාලන වශයෙන් එකී යටත් විජිත පසු කලෙක නිදහස ලැබූවත් ඒවාට ආර්ථික වශයෙන් ක්‍රියා කිරීමට නොහැකි වීමයි. එබැවින් නිදහස ලැබූවද මෙම රටවල දැඩි තාක්ෂණික හා ආර්ථික පසුගාමිත්වයක් පැවතුනි. නව යටත්විජිතවාදය තුළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්වාධීනත්වය ලබාගත් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රාජ්‍යයන් නිදහස් රාජ්‍යයන් ලෙස සංවිධානය වුවද ඒවායෙහි ආර්ථික කටයුත් බාහිර බලවේග විසින් මෙහෙයවීම නව යටත්විජිතවාදයේ විශේෂ ලක්ෂණයකි. 


යටත්විජිත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුරෝපා ප්‍රබල රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සිදුවිය. මෙම යටත්විජිතහරණ ක්‍රියාවලිය තුළ ඔවුන් පාලනය කළ ප්‍රදේශ ස්වදේශිකයන්ට බාර දුන්නද එතෙක් ඔවුන් අනුගමනය කළ මෙහෙයවීමේ හා පාලනය කිරීමේ තවදුරටත් ඉදිරියට ගෙනගිය බව දක්නට ලැබේ. මෙහිදී සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල බලවතුන් විවිධ උපක්‍රම හරහා තම ග්‍රහණයට නතුකර ගනිමින් නාමිකව නොවුනත් ක්‍රියාකාරී වශයෙන් යටත් වූ ස්වාභාවයකට පත්කර ගැනීමයි. මෙම ආර්ථික ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර වෙළෙඳ හා මූල්‍ය කටයුතු ආශ්‍රයෙන් ජාත්‍යන්තර ආර්ථිකය මෙහෙයවීම සිදුවිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ බලතුලනයේ වෙනස්වීමත් සමඟ ඇති වූ තත්ත්වය ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යටත්විජිත ක්‍රමය තුළ අධිරාජ්‍ය කණ්ඩායම් යටතේ පැවතුණු ප්‍රධාන බලවතුන් මිත්‍ර ජාතීන් ලෙස රාජ්‍යයන් ගොඩනගා ගත් අතර ලෝකයේ විවිධ ප්‍රදේශ සහ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලෝක බලපෑම් කිරීමට මොවුන් විසින් ගනු ලැබූ තීරණ නව යටත්විජිතවාදයේ සූක්ෂම ආරම්භයක් ලෙස විචාරකයෝ පෙන්වා දේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව පසුව ඇති වූ සංවිධානවල ප්‍රබලත්වය බලවත් රාජ්‍යයන් විසින් හිමිකර ගැනීමට සකස් කළ සැලසුම් නව යටත්විජිතවාදය ව්‍යාප්ත වීමට බොහෝ සෙයින් පදනම විය. 


සාමාන්‍ය අර්ථයෙන් විග්‍රහ කරන කළ නව යටත්විජිතවාදය යනු අධිරාජ්‍යයන් රහිත යටත්විජිතවාදයකි. නව යටත්විජිතවාදය මඟින් නාම මාත්‍රිකව නිදහස ලැබූ රාජ්‍යයන් මත සැලකිය යුතු තරමින් කෙරෙන විදේශීය යොමු වීමකි. නව යටත්විජිතවාදය තවත් ආකාරයකින් ප්‍රකාශ කළහොත් එය දේශපාලන හා යුධමය ආධිපත්‍යය වෙනුවට ආර්ථික ආධිපත්‍යයක් ඇති කිරීමයි. 


ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඉන්දීය විශේෂඥයෙකු වන එම්. ගුප්තා දක්වන ආකාරයට යටත්විජිතහරණය තුළින් සිදුවූයේ යටත්විජිත නීතිමය වශයෙන් නිදහස් වීමක් මිස සිද්ධිමය වශයෙන් වෙනස්වීමක් නොවේ. මේ නිසා මෙම සංකල්පය තුළින් පැහැදිලි වන්නේ නීත්‍යානුකූලව යටත්විජිත හා මව් රාජ්‍යයන් අතර සබදතා විනිර්මුක්ත වීමක් වුවත් සිද්ධිමය වශයෙන් ඒවා තවදුරටත් යටත්විජිත මව් රාජ්‍යයන්ගේ ග්‍රහණයේ පැවතීමයි. ඝානාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ක්වාමේ නික්රූමා (Kwame Nikrumah) නව යටත්විජිතවාදය සම්බන්ධයෙන් සඳහන් කරන ලද්දේ නව යටත්විජිතවාදයේ හරය වන්නේ න්‍යායාත්මකව රාජ්‍යයන්ට දේශපාලන නිදහසක් සහ ස්වාධීනත්වයක් හිමිකර දෙමින් අදාළ රාජ්‍යයන්හි ආර්ථිකය බාහිර බලවේග මඟින් මෙහියවීමට ඉඩ සැලැස්වීමයි. යටත්විජිතවාදයෙන් නිදහස් වූ රාජ්‍යයන් සම්බන්ධයෙන් සංවර්ධිත එනම් ඉහළ ආර්ථිකයක් ඇති රාජ්‍යයන් අනුගමනය කරන සූරාකෑමේ ප්‍රතිපත්තිය නව යටත්විජිතවාදයෙන් ප්‍රකාශයට පත් වේ. නිරුක්මා සඳන් කරන ආකාරයට මේ තුළින් මූලිකවම සිදුවන්නේ ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සිදුවන මුදල් ප්‍රවාහ සංවර්ධිත රටවලට අද්දවා ගැනීමේ ක්‍රමවේදයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතර සංවර්ධිත රටවල් මෙම අමුද්‍රව්‍ය මිලදීගෙන නිමි භාණ්ඩ නිෂ්පාදනය කොට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉහළ මිලකට අලෙවි කිරීම මඟින් ලාභ ලබා ගන්නා අතර එමඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් සහ ආර්ථික ප්‍රවාහය සංවර්ධිත රටවලට පහාඋවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ඉන්දියානු ලේඛිකාවක වන Rajini Plam Dath සඳහන් කරන ආකාරයට නව යටත්විජිතවාදය තුළ හඳුනාගත හැකි ප්‍රධානතම ක්‍රියාදාමය වන්නේ ලාභ අපේක්ෂා කරමින් අතීතයේ යටත්විජිත පිහිටුවාගෙන සිටි රාජ්‍යයන් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියයි. මෙසේ විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව විවිධ අදහස් හා අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති අතර නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වන මාධ්‍යයන් ගණනාවක් හඳුනාගත හැකිය. ඒවා නම්,

1. බහුජාතික සමාගම්

2. දේශපාලන මැදිහත්වීම්

3. යුධමය මැදිහත්වීම්

4. විදේශ ණය සහ ආධාර

5. ජාත්‍යන්තර සංවිධාන

6. ජාත්‍යන්තර වෙළදාම

7. විදේශ ශිෂ්‍යයත්ව ලබාදීම

යන ඒවා ප්‍රමුඛ වේ. නව යටත්විජිතවාදය විවිධ ස්වරූපයෙන් ලොවපුරා ක්‍රියාත්මක වන අතර යුධමය මැදිහත්වීම් ඒ තුළ හඳුනාගත හැකි දරුණුතම ස්වරූපය බව බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ.

කාන්තා අයිතිවාසිකම්

  මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එහි වැදගත් එක් පාර්ශවයක් වශයෙන් කාන්තාවන් හදුනාගත හැකි වේ. එබැවින් ඔවුන්ට හිමිව තිබෙන අයිතිවාස...