පුරාතන මූර්ති කලාව පිළිබඳව අධ්‍යනය කිරීමේදී අනෙකුත් මූර්ති සමඟ ගත්කල බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව පෙනේ. විශේෂයෙන්ම වර්තමාන බෞද්ධ සමාජය තුළ පවා ඉතා වැදගත් කැපී පෙනෙන සංකේතයක් ලෙසට බුද්ධ ප්‍රතිමාව හඳුනාගත හැකිවේ. සංස්කෘත බසින් "ප්‍රතිමා" ලෙසත් පාලියෙන් "පටිමා" ලෙසටත් සිංහල භාෂාවෙන් "පිළිම" යන නමින්ද හඳුන්වනු ලබයි. බුද්ධ ප්‍රතිමාව දෙස අවධානය යොමු කිරීමේදී ඇත්තෙන්ම එය එක්තරා අන්දමක සංකල්පීය රූපයකි. එම ප්‍රතිමා තුලින් නිරූපණය කරනු ලබන්නේ බුදුසසුනේ ශාස්තෘන් වහන්සේය.
මෙහිදී බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය පිළිබඳව අධ්‍යනය කිරීමේදී වර්තමානයේ පවා එම කරුණ පිළිබඳව ශාස්ත්‍රීය වාද විවාදයන් සිදු වෙමින් පවතී. කෙසේ වෙතත් අද වන තුරුම ඒ පිළිබඳ නිශ්චිත මතවාදයක් ගොඩනැගීමට හැකියාවක් ලැබී නොමැතිබව පෙනීයන කරුණකි. එහිදී ඇතැම් විචාරකයන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ලාංකේය කලාකරුවන්ගේ දක්ෂතාවය මත ගොඩනැගුණු අගනා කලා නිර්මාණයක් ලෙසටය. එහෙත් තවත් සමහර විද්වතුන්ගේ මතවාදයන්ට අනුව ලාංකේය බුද්ධ ප්‍රතිමා සම්ප්රදාය ඉන්දියානු බුද්ධ ප්‍රතිමා සම්ප්රදායේ ආභාසය මත ගොඩනැගූවක් බව මතයන් ඉදිරිපත් කර ඇත. මෙසේ බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය පිළිබඳව ලැබෙන යම් යම් තොරුතුරු පිළිබඳව අධ්‍යනය කිරීමේදී ලැබෙන එම සාධකයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කර ඉදිරිපත් කළ හැකිවේ. එනම් සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්රයි. බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ලංකාවේ සිදු වී ඇති බවට තර්ක ඉදිරිපත් කරන විද්වතුන් සාහිත්‍යය මූලාශ්රගත තොරතුරු පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වන බව හඳුනාගත හැකිවේ. ටී.ඩී. දේවේන්ද්‍ර, නන්දදේව විජේසේකර, ආචාර්ය සිරී ගුණසිංහ, කඹුරුපිටියේ වනරතන හිමි ආදී විද්වතුන් විසින් බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ශ්‍රී ලංකාවේ සිදු වූ බවට විවිධ තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙසේ එම විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද තොරුතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ තොරතුරු ක්‍රි.පූ. 3වන සියවස දක්වා ඈත අතීතයකට දිවයන බවට කරුණු හඳුනාගත හැකිවේ. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ (ක්‍රි.පූ. 247-207) එනම් ක්‍රි.පූ. තෙවන සියවසේ ශ්‍රී ලංකාවේ බුදු පිළිම නිර්මාණය ඇරඹුණු බව සාහිත්‍ය මූලාශ්‍ර සඳහන් කරයි. දෙවන පෑතිස්ස රජු විසින් ථූපාරාමයේ පිහිටුවන ලද ශෛලමය බුදු පිළිමය පළමුවන ජේට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 263-274) විසින් ථූපාරාමයෙන් ඉවත් කරවා පාචීන තිස්ස පබ්බත විහාරයෙහි තැන්පත් කරන ලද බව මහාවංශය තුළ සඳහන් වේ.
දුටුගැමුණු රජුගේ රාජ්‍ය සමයේදී (ක්‍රි.පූ. 161-137) ඔහු විසින් කරවන ලද රුවන්වැලි මහා සෑ ගර්භයේ රුවන්මය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බව මහාවංශය තුළ සඳහන් කර ඇත. ක්‍රි.ව. 10වන සියවස වනවිට රුවන්වැලි මහා සෑයේ නිධන්කළ බුදු පිළිමය පිළිබඳ තොරතුරු වංසත්ථප්පකාසිනියේ දැක්වේ.
තවද මහාවංශය තුළ දැක්වෙන පරිදි වසභ රජුගේ රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 66-109) බුදු පිළිම හතරක් කරවූ බවත් ඒවාට පිළිම ගෙවල්ද තනවා දුන් බවත් සඳහන් වේ. මෙම සමය තුළ ඉන්දියාවෙන්ද ලෝකයේ ප්‍රථම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය සිදු විය. වසභ රාජ්‍ය සමයට සමකාලීනව ඉන්දියාවේ කනිෂ්ක රජු (ක්‍රි.පූ. 78-101) විසින් නිකුත් කරන ලද රන් කාසියක මුද්‍රිත ලොව ප්‍රථම බුදු පිළිමය පිළිබඳව සාක්ෂි ලැබෙන බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබයි.
බුද්ධ ප්‍රතිමා නිර්මාණය මෙරට පහසුවෙන්ම ඇරඹෙන්නට හේතුවක් වන්නට ඇත්තේ එවකට පැවති සංකේත වන්දනයයි. කෙසේවෙතත් බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ලංකාවේ සිදු වූ බවට සාහිත්‍යමය වශයෙන් ලැබෙන සාධක බහුල වුවත් එම සාහිත්‍ය කෘතීන්ගේ පශ්චාත් කාලීනභාවය නිසාම බොහෝ විචාරකයන් එම සාධකවල නිරවද්‍යතාවය පිළිගැනීමට මැලිබවක් දක්වනු ලබයි. නමුත් ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වූ පරණවිතාන මහතා සහ කලා ශිල්ප පිළිබඳ විධිමත් විචාරයන් ඉදිරිපත් කරන ලද ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වී ඇත්තේ බුද්ධ ප්‍රතිමා කලාව ඉන්දියාවෙන් උකහා ගන්නා ලද කලාවක් බවය. ඒ අනුව ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳව අධ්‍යනය කිරීමේදී හමුවන පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ. 1වන සියවස අගදී හෝ ක්‍රි.ව. 1වන සියවස මුලට දිවයනබව හඳුනාගත හැකිවේ. බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ඉන්දියාවේදී සිදුවී පසුව එම නිර්මාණ කෞෂල්‍යය ලංකාවට ලැබුණුබව දක්වන ලද පරණවිතාන මහතා හා කුමාරස්වාමි මහතා පෙන්වාදෙන තොරතුරු වලට අනුව ලංකාවේ පැරණි අවධියට අයත්ව නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමාවන්හි කල නිර්ණය ක්‍රි.ව. 3-5 සියවස් අතර කාලයට අයත් වනබව පෙනේ. විශේෂයෙන්ම ඉන්දියාවේ ගොඩනැගුණු මථුරා, ගන්ධාර, අමරාවතී ආදී කලා සම්ප්රදායන්හි ආභාසය ලක්දිව ප්‍රතිමා නිර්මාණයේදී බෙහෙවින් බලපා ඇත. අනුරාධපුර අග්‍රගන්‍ය බුද්ධ ප්‍රතිමාවක් ලෙසින් හඳුන්වනු ලබන අවුකන හිටි බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේදීත් අමරාවතී කලා සම්ප්රදාය තදින්ම බලපා තිබේ. එසේම අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් සොයාගත් අඩි 06ක් පමණ උසැති කිරිගරුඬ ප්‍රතිමාවේ දක්නට ලැබෙන ආන්ද්‍ර ශිල්පීය ලක්ෂණ හුවාදක්වමින් පරණවිතාන මහතා තම අදහස සනාථ කිරීමට උත්සහ දරයි. ආචාර්ය බෙන්ජමින් රෝලන්ඩ් මහතාද පරණවිතානයන්ගේ අදහස සනාථ කරමින් රුවන්වැලි සෑ බිමෙහි ආන්ද්‍ර ලක්ෂණ පෙන්වන බුද්ධ ප්රතිමාවන් ගෙනහැර දක්වමින් ස්වකීය අදහස සනාථ කරයි. මීට අමතරව තවත් සමහර විද්වතුන් ප්‍රකාශ කරන්නේ බුදු දහම ලක්දිවට පැමිණි මුල් කාලයේ බුදු පිළිම නිර්මාණය ඇරඹුණු බවයි. ඒ අනුව සමස්ථ සාධකයන් පිළිබඳව අධ්‍යනය කිරීමේදී සාහිත්‍යය මූලශ්‍ර තොරතුරු මඟින් බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය සම්බන්ධ ගෞරවය ලංකාවට ලබාදීමට උත්සහ ගත්තද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව පුළුල්ව සහ සියුම්ව අධ්‍යනය කිරීමේදී බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභවයෙහි මූලයන් භාරතය දෙසට දිවයන බව දැකගත හැකිය.

😌👍👍
ReplyDelete👍👍
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDelete❤️❤️❤️
ReplyDelete👌👌👌
ReplyDelete