වර්තමාන ලෝකයේ දේශපාලන ක්‍රියාවලීන්, දේශපාලන සාකච්ඡා හා විවාද මෙන්ම දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් ද මහත් සේ අදාළවන සංකල්ප තුනක් නම් ජනවාර්ගිකත්වය, ජාතිය සහ ජාතික රාජ්‍ය යන මේවාය. එකිනෙකට සම්බන්ධ දේශපාලන සංකල්පයන් ය. වර්තමාන ලෝකය තුළ දේශපාලනය යන්න පරිකල්පනය කිරීමටත්, දේශපාලන ක්‍රියාවලීන් තේරුම් ගැනීමටත්, මෙම සංකල්ප තුන නැතුවම බැරිය. ඒවා විශේෂයෙන් ලංකාවටද අදාළ වන ඒවාය.
ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස බලන විට පෙනෙන දෙයක් නම් "ලාංකික ජාතියක්" ගොඩනැගීම පිළිබඳ නිරන්තර දේශපාලන විවාදයක්ද, දේශපාලන ගැටුම්ද පැවතුණ බවයි. "ජාතිය" යන්න පිළිබඳව ලාංකික සමාජ සන්දර්භය තුළ පොදුවේත්, බුද්ධිමතුන් අතරවත්, දේශපාලඥයන් අතරවත්, පොදු වටහාගැනීමක් හෝ ඒකමතිකත්වයක් හෝ දක්නට නොලැබේ. සිංහල සමාජයේ සිටින දේශපාලඥයින්, බුද්ධිමතුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිතුවේ සිංහල භාෂාව කතාකරන තම ප්‍රජාව වෙනම "ජාතියක්" බවයි. මෙම අදහසම, එනම් තම ප්රජාවන්ද වෙනම "ජාතීන්" වෙතී යන අදහස දෙමළ සමාජයේද, මුස්ලිම් සමාජයේද ගොඩනැගිණ. මේ අතර "ලාංකික ජාතිය" පිළිබඳ අදහසද ඉදිරියට ආවේය. එම අදහසට විශේෂ වැදගත්කමක් ලැබුණේ 1948 නිදහසින් පසු "ශ්‍රී ලංකාව" යන නූතන රාජ්‍යය ගොඩනැගීමෙන් පසුය. සිංහල ජනයා වෙනම "ජාතියක්" නම්, දෙමළ ජනයා වෙනම ජාතියක් නම්, මුස්ලිම් ජනයා වෙනම ජාතියක් නම්, සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රජාව වෙනත් ජාතීන් ලෙස සැළකීම හරිද? මේ ප්‍රජාවන් තුන එකතුවී එක ජාතියක් ගොඩනගන්නේ නම්, එය කළ යුත්තේ කවර කොන්දේසි මතද? මේවා වනාහි පසුගිය දශක කිහිපයේ මෙරට දේශපාලනයෙහි නිරන්තරයෙන් මතු වූ ප්රශ්නයයි.
මෙම ප්‍රශ්න කිසිවකටවත් පහසු විසඳුමක් නැත ඒවා ලංකාවටම සුවිශේෂ වූ දුශ්කරතාද නොවේ. "ජාතිය" ගොඩනැගීම පිළිබඳ ගැටලුව විශේෂයෙන් 1980 ගණන්වල සිට ලෝකයේ රටවල් ගණනාවකම දේශපාලන න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය කාරණය බවට පත්වී තිබින. ලංකාවද ඇතුලු රටවල් ගණනාවක්ම අභ්‍යන්තර සිවිල් යුද්ධ වලට ඇදවැටී තිබුණේ එම ප්‍රශ්නයට පහසු විසඳුම් නොතිබුණ නිසාය.
"ජාතිය ගොඩනැගීම" පිළිබඳ මෙම ගැටළුව තනිකරම ජාතිය පිළිබඳ කාරණයක්ම ද නොවීය. එය රාජ්‍යය පිළිබඳ ගැටලුව සමඟද ළඟින්ම බැඳී තිබුණි. රාජ්‍යය ගොඩනැගීම යන අරමුණ සමඟ ජාතිය ගොඩනැගීම යන්නද මිශ්‍ර වූ විට ජාතිය සහ රාජ්‍යය යන දෙකම පත්වූයේ මහත් අවුලකටය එක රාජ්‍යයක් තුළ සිටිය යුත්තේ එක ජාතියක්ද? ජාතීන් කිහිපයකට එක් රාජ්‍යයක් තුල සහජීවනයෙන් සිටිය හැකිද? ජාතීන් කිහිපයක් එක් රාජ්‍යයක් ඇතුලත සහජීවනයෙන් සිටින විට ඒ එක් එක් ජාතියක් සැලකිය යුත්තේ තමන් වෙනම ජාතීන් හැටියටද, නැත්නම් එකම දේශපාලන ජාතියක සාමාජිකයන් වන වාර්ගික ප්‍රජාවන් හැටියටද? එසේ වන්නට නම් ජාතිය පිළිබඳ අපේ සාම්ප්‍රදායික පරිකල්පනයන් වෙනස් කළ යුතු නේද? යන මේවා එම අවුල තුළ මතු වූ වැදගත් ප්රශ්නයන් ය.
මේ අතර ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටලුවද අප රටේ දේශපාලන හා බුද්ධිමය විවාද අතර මුල්තැන ගෙන තිබූ එකකි. එම විවාදයේදී මතුවූ මූලික ප්රශ්නය නම් ලාංකික යන ජාතියේ ජාතික අනන්‍යතාවය විය යුත්තේ රටේ බහුතර ප්‍රජාව සිංහල බෞද්ධ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවය වන සිංහල බෞද්ධකම නොවන්නේද? යන්නයි. සිංහල සමාජයේ බුද්ධිමතුන් අතරින් මතුවූ ප්‍රබල තර්කයක් වූයේ එය එසේ විය යුතුය යන්නයි. එහෙත් එයට විරුද්ධව තර්කයන්ද ගොඩනැගිණ. එයින් කියැවුණේ ලංකාව නැමැති රාජ්‍යයේ සියලු පුරවැසියන්ගේ ජාතික අනන්‍යතාවය සිංහල බෞද්ධකම වූ විට එය සුළුතර ප්‍රජාවන්ට වෙනස්කම් කිරීමක් වන බවයි. ලාංකික අනන්‍යතාවයක තිබිය යුත්තේ සෑම ආගමික, භාෂාමය හා සංස්කෘතික ප්රජාවකටම එකසේ බෙදාගතහැකි, පොදු බහු සංස්කෘතික අනන්‍යතාවයකි යන්න එම දෙවැනි තර්කයෙන් මතුවූ අනෙක් අදහසයි.
ජාතිය යනු කුමක්ද? ජාතියේ අනන්‍යතාවය විය යුත්තේ කුමක්ද? ජාතිය පිළිබඳ අපේ සාම්ප්‍රදායික වටහාගැනීම් ප්රජාතන්ත්රවාදී නූතන රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණට ප්‍රමාණවත් වන්නේද? යනාදී ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ කිරීමට තිඩුදුන් සාධකයක් නම් ජාතිකවාදී ව්‍යාපාර විසින් එම ප්‍රශ්න දේශපාලන ක්ෂේත්රය තුළ මතු කරනු ලැබීමයි. ජාතිකවාදය (nationalism) මතුවී තිබෙන්නේ මතවාදයක් හැටියට මෙන්ම දේශපාලන හා සමාජ ව්‍යාපාරයක්ද හැටියටය. ජාතිකවාදී ව්‍යාපාරවලින් කෙරෙන කාර්යය නම් තමන් එක් ජාතියකට අයත් යැයි සිතන ප්රජාවන්ගේ අභිලාෂයන් දේශපාලන තලයට සහ රාජ්‍ය බලය පිළිබඳ ක්ෂේත්රයට ගෙනඒමයි. ජාතියක් යනු දේශපාලන පරමාධිපත්‍යයට හිමිකම් කියන, ඒ නිසාම රාජ්‍යයක් හැටියට සංවිධානයවීමේ හිමිකම සහ අයිතියද තිබෙන සාමූහික ප්‍රජාවක් ය. මෙය වනාහී ජාතිකවාදී ව්‍යාපාර තමන් නියෝජනය කරන ප්‍රජාවන්ට දෙන අතිමූලික දේශපාලන පණිවිඩයයි. මෙම පණිවිඩය මඟින් ප්‍රජාවන් දේශපාලන වශයෙන් සංවිධානය කර බලමුලු ගැන්වීමට ජාතික විමුක්ති අරගලය යනුවෙන් හැඳින්වෙන යුද්ධවල තම සාමාජිකයින් මෙහෙයවීමට සහ අතීශයින්ම කටුක දුක්ඛිත තත්ත්වයන් සහ පරාජයන් පවා ඉවසා දරා සිටීමට ප්‍රජාවන් සූදානම් කිරීමට ජාතිකවාදී ව්‍යාපාරවලට හැකි වී තිබේ. මෙම කාරණයට හොදම නිදසුන් සපයන්නේ පසුගිය දශක කිහිපය තුළ ලංකාවයි. ජාතිකවාදය නූතන දේශපාලනයේ ගමන් මග නිර්ණය කරන ප්‍රධාන සාධකයක් වී ඇතැයි ලංකාවේ අත්දැකීම් ආශ්රයෙන් අපට කිවහැකිය.
ජාතිකවාදී මතවාද සහ ව්‍යාපාර දෙස බලන විට ඒවා තුන් ආකාරයකින් පැනනැගී තිබෙනබව පෙනේ.
පළමුවැන්න
එනම් ජාතික රාජ්‍යයේ අනන්‍යතාව මත ගොඩනැගුණු ජාතිකවාදී මතවාද සහ ව්‍යාපාරයි. එය ආරම්භවූයේ 18 වැනි සියවසේ යුරෝපයේය. පසුව එය යුරෝපීය නොවන සමාජවලටද පැතිරිණ. එම මතවාදයේ මූලික අදහස නම් රාජ්‍යයක දේශසීමා ඇතුලත ජීවත්වන ප්‍රජාව එකම ජාතියක සාමාජිකයෝ වෙතී යන්නයි මේ අනුව සෑම ජාතියකටම රාජ්‍යයක් සඳහා හිමිකමක් තිබේ. එම රාජ්‍යයේ සිටින සෑම පුරවැසියෙකුම, එම රාජ්‍යය සමන්විතවන ජාතියේද සාමාජිකයන් ය. ප්‍රංශ ජාතිය, ජර්මන් ජාතිය, ඉතාලි ජාතිය ආදී වශයෙන් මෙම ජාතිය හා රාජ්‍යය අනන්‍ය කරන ජාතිකවාදය 18 වැනි සියවසේ සිට යුරෝපයේ වර්ධනය විය. යුරෝපීය නොවන සමාජවල ඉන්දියානු ජාතිය, ලාංකික ජාතිය, නයිජීරියානු ජාතිය, ඉන්දුනීසියානු ජාතිය යනාදී වාශයෙන් පරිකල්පනය කෙරෙන්නේ මෙම ජාතිය හා රාජ්‍යය එකක් ලෙස සලකන ජාතිකවාදයයි. මෙය "ජාතික රාජ්‍යය ජාතිකවාදය" ලෙස හැඳින්විය හැකිය.
දෙවැන්න
මෙය මතුවූයේ බහුවාර්ගික රටවල සිටින වාර්ගික වශයෙන් බහුතරයක්වන ප්‍රජාව වෙතිනි. නැතහොත් ඔවුන්ගේ දේශපාලන සහ බුද්ධිමය ප්‍රකාශකයන් වෙතිනි. ඔවුන්ගේ ප්‍රධාන තර්කය නම් වාර්ගික කණ්ඩායම් ගණනාවක්ම රාජ්‍ය තුළ සිටින නිසාම රාජ්‍යයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් එම රාජ්‍යය වාර්ගික බහුතරය සමඟ අනන්‍යවිය යුතුය යන්නයි. මෙම වාර්ගික බහුතරයේ ජාතිකවාදය යන්නට ඇති උදාහරණ නම් ඉන්දියාවේ හින්දු ජාතිකවාදය, ලංකාවේ සිංහල ජාතිකවාදය, මැලේසියාවේ මැලේ භූමිපුත්‍ර ජාතිකවාදය යන මේවායි.
තුන්වැන්න
මෙය වාර්ගික සුළුතරයේ ජාතිකවාදයයි. මෙයින් මතුකරන මූලික අදහස නම් රාජ්‍යයක් තුළ ජීවත්වන සංඛ්‍යාත්මකව සුළුතරයන් වන වාර්ගික ප්රජාකණ්ඩායම්ද සුළුතරයක් ලෙස නොව ජාතීන් ලෙස සලකා ඔවුන්ට සමානත්වය පදනම් කොටගත් දේශපාලන අයිතිවාසිකම් තිබිය යුතුය යන්නයි. ලංකාවේ දෙමළ ජාතිකවාදය, ඉන්දියාවේ පන්ජාබි සහ කාශ්මීර ජාට්ජිකවාදය, පිලිපීනයේ මින්දනාවෝ මුස්ලිම් ජාතිකවාදය මෙයට උදාහරණයි.
මෙම පසුබිම සිතේ තබාගෙන ජාතිය යන සංකල්පය දෙස බලන විට පෙනෙන දෙයක් වනුයේ එය අතීශයින්ම විවාදාත්මක එකක් යන්නයි. එය එසේ වී තිබෙන්නේ මතවාදී සහ දේශපාලන සංකල්පයක් හැටියට පමණක්ම නොවේ. සමාජ විද්‍යා සංකල්පයක් හැටියටද එය විවාදාත්මක එකකි.
Good 🤩
ReplyDelete👍👍👍❤❤❤
ReplyDelete👍👍❤❤
ReplyDeleteGreat
ReplyDeleteGood job
ReplyDeleteGreat 👍
ReplyDelete