දෙවන ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් පිරිහීමට පත්වත්ම ඔවුන්ට අහිමිව ගිය යටත් විජිතයන්හි සිය බලය තව දුරටත් රදවා ගැනීමේ විකල්පයක් ලෙස නව යටත් විජිතවාදය බිහි විය. තවත් ආකාරයකට කිවහොත් නව යටත්විජිතවාදය යනු යටත්විජිතවාදයේ නවීකරණය වූ ස්වරූපයයි. යටත්විජිතවාදය තුළ දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණය වූයේ අධිරාජ්‍යවාදී රටවල් විසින් අනෙකුත් යටත් රාජ්‍යයන් දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද යටත් කරගෙන පාලන කටයුතු පවත්වාගෙන යාමයි. අධිරාජ්‍යවාදී බලවතුන් යටත් විජිතයන්හි ආර්ථිකය වර්ධනය කර තිබුනේත්, ගොඩනගා තිබුනේත් අධිරාජ්‍යවාදී රටවල මව් ආර්ථිකය ගෙනයාමට උදව් කරගත හැකි ආර්ථිකයක් ලෙසිනි. මෙහි ප්‍රතිඵලය වූයේ දේශපාලන වශයෙන් එකී යටත් විජිත පසු කලෙක නිදහස ලැබූවත් ඒවාට ආර්ථික වශයෙන් ක්‍රියා කිරීමට නොහැකි වීමයි. එබැවින් නිදහස ලැබූවද මෙම රටවල දැඩි තාක්ෂණික හා ආර්ථික පසුගාමිත්වයක් පැවතුනි. නව යටත්විජිතවාදය තුළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්වාධීනත්වය ලබාගත් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රාජ්‍යයන් නිදහස් රාජ්‍යයන් ලෙස සංවිධානය වුවද ඒවායෙහි ආර්ථික කටයුත් බාහිර බලවේග විසින් මෙහෙයවීම නව යටත්විජිතවාදයේ විශේෂ ලක්ෂණයකි.
යටත්විජිත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුරෝපා ප්‍රබල රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සිදුවිය. මෙම යටත්විජිතහරණ ක්‍රියාවලිය තුළ ඔවුන් පාලනය කළ ප්‍රදේශ ස්වදේශිකයන්ට බාර දුන්නද එතෙක් ඔවුන් අනුගමනය කළ මෙහෙයවීමේ හා පාලනය කිරීමේ තවදුරටත් ඉදිරියට ගෙනගිය බව දක්නට ලැබේ. මෙහිදී සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල බලවතුන් විවිධ උපක්‍රම හරහා තම ග්‍රහණයට නතුකර ගනිමින් නාමිකව නොවුනත් ක්‍රියාකාරී වශයෙන් යටත් වූ ස්වාභාවයකට පත්කර ගැනීමයි. මෙම ආර්ථික ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර වෙළෙඳ හා මූල්‍ය කටයුතු ආශ්රයෙන් ජාත්‍යන්තර ආර්ථිකය මෙහෙයවීම සිදුවිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ බලතුලනයේ වෙනස්වීමත් සමඟ ඇති වූ තත්ත්වය ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යටත්විජිත ක්‍රමය තුළ අධිරාජ්‍ය කණ්ඩායම් යටතේ පැවතුණු ප්‍රධාන බලවතුන් මිත්‍ර ජාතීන් ලෙස රාජ්‍යයන් ගොඩනගා ගත් අතර ලෝකයේ විවිධ ප්‍රදේශ සහ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලෝක බලපෑම් කිරීමට මොවුන් විසින් ගනු ලැබූ තීරණ නව යටත්විජිතවාදයේ සූක්ෂම ආරම්භයක් ලෙස විචාරකයෝ පෙන්වා දේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව පසුව ඇති වූ සංවිධානවල ප්‍රබලත්වය බලවත් රාජ්‍යයන් විසින් හිමිකර ගැනීමට සකස් කළ සැලසුම් නව යටත්විජිතවාදය ව්‍යාප්ත වීමට බොහෝ සෙයින් පදනම විය.
සාමාන්‍ය අර්ථයෙන් විග්රහ කරන කළ නව යටත්විජිතවාදය යනු අධිරාජ්‍යයන් රහිත යටත්විජිතවාදයකි. නව යටත්විජිතවාදය මඟින් නාම මාත්රිකව නිදහස ලැබූ රාජ්‍යයන් මත සැලකිය යුතු තරමින් කෙරෙන විදේශීය යොමු වීමකි. නව යටත්විජිතවාදය තවත් ආකාරයකින් ප්‍රකාශ කළහොත් එය දේශපාලන හා යුධමය ආධිපත්‍යය වෙනුවට ආර්ථික ආධිපත්‍යයක් ඇති කිරීමයි.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඉන්දීය විශේෂඥයෙකු වන එම්. ගුප්තා දක්වන ආකාරයට යටත්විජිතහරණය තුළින් සිදුවූයේ යටත්විජිත නීතිමය වශයෙන් නිදහස් වීමක් මිස සිද්ධිමය වශයෙන් වෙනස්වීමක් නොවේ. මේ නිසා මෙම සංකල්පය තුළින් පැහැදිලි වන්නේ නීත්‍යානුකූලව යටත්විජිත හා මව් රාජ්‍යයන් අතර සබදතා විනිර්මුක්ත වීමක් වුවත් සිද්ධිමය වශයෙන් ඒවා තවදුරටත් යටත්විජිත මව් රාජ්‍යයන්ගේ ග්‍රහණයේ පැවතීමයි. ඝානාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ක්වාමේ නික්රූමා (Kwame Nikrumah) නව යටත්විජිතවාදය සම්බන්ධයෙන් සඳහන් කරන ලද්දේ නව යටත්විජිතවාදයේ හරය වන්නේ න්‍යායාත්මකව රාජ්‍යයන්ට දේශපාලන නිදහසක් සහ ස්වාධීනත්වයක් හිමිකර දෙමින් අදාළ රාජ්‍යයන්හි ආර්ථිකය බාහිර බලවේග මඟින් මෙහියවීමට ඉඩ සැලැස්වීමයි. යටත්විජිතවාදයෙන් නිදහස් වූ රාජ්‍යයන් සම්බන්ධයෙන් සංවර්ධිත එනම් ඉහළ ආර්ථිකයක් ඇති රාජ්‍යයන් අනුගමනය කරන සූරාකෑමේ ප්‍රතිපත්තිය නව යටත්විජිතවාදයෙන් ප්‍රකාශයට පත් වේ. නිරුක්මා සඳන් කරන ආකාරයට මේ තුළින් මූලිකවම සිදුවන්නේ ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සිදුවන මුදල් ප්‍රවාහ සංවර්ධිත රටවලට අද්දවා ගැනීමේ ක්රමවේදයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතර සංවර්ධිත රටවල් මෙම අමුද්‍රව්‍ය මිලදීගෙන නිමි භාණ්ඩ නිෂ්පාදනය කොට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉහළ මිලකට අලෙවි කිරීම මඟින් ලාභ ලබා ගන්නා අතර එමඟින් සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් සහ ආර්ථික ප්‍රවාහය සංවර්ධිත රටවලට පහාඋවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ඉන්දියානු ලේඛිකාවක වන Rajini Plam Dath සඳහන් කරන ආකාරයට නව යටත්විජිතවාදය තුළ හඳුනාගත හැකි ප්‍රධානතම ක්‍රියාදාමය වන්නේ ලාභ අපේක්ෂා කරමින් අතීතයේ යටත්විජිත පිහිටුවාගෙන සිටි රාජ්‍යයන් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ආර්ථික ප්රතිපත්තියයි. මෙසේ විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව විවිධ අදහස් හා අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති අතර නව යටත්විජිතවාදය ක්‍රියාත්මක වන මාධ්‍යයන් ගණනාවක් හඳුනාගත හැකිය. ඒවා නම්,
1. බහුජාතික සමාගම්
2. දේශපාලන මැදිහත්වීම්
3. යුධමය මැදිහත්වීම්
4. විදේශ ණය සහ ආධාර
5. ජාත්‍යන්තර සංවිධාන
6. ජාත්‍යන්තර වෙළදාම
7. විදේශ ශිෂ්‍යයත්ව ලබාදීම
යන ඒවා ප්රමුඛ වේ. නව යටත්විජිතවාදය විවිධ ස්වරූපයෙන් ලොවපුරා ක්‍රියාත්මක වන අතර යුධමය මැදිහත්වීම් ඒ තුළ හඳුනාගත හැකි දරුණුතම ස්වරූපය බව බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබේ.

👌👌
ReplyDeleteGreat 🥰
ReplyDeleteThank you 💙
Delete❤️❤️❤️
ReplyDelete💙
DeleteGreat 👍
ReplyDeleteGood 👍😊
ReplyDelete❤❤❤
ReplyDelete👍👍👍
ReplyDeleteGood 👍👍
ReplyDeleteHodai
ReplyDeleteNice
ReplyDeleteNice
ReplyDelete